අරගලය

 
වැරෙන් හති හලමින්
දෙපයට ගොදුරු වූ
බයිසිකල් පැඩලය
වේගයෙන් කැරකෙත්ම
ජීවන අරගලයේ රෝදය
හදවතේ ලබ් ඩබ් ශබ්දය පරයා
සීරුවෙන් ඉරිදියට ඇදෙන සඳ.....

සරුව පිත්තල සංගීත රාවය
පරිසරයේ නිහඬ බව බිඳගෙන
ඔච්චම් කරමින් මා පසුකරත්ම
කෙළි පොඩිත්තිගේ කුස ගින්දරින්
මගේ මුළු සර්වාංගයම
දැවී අළු විය මොහොතකට..............



 (බුද්ධදාස ගලප්පත්ති සොයුරාගේ
"හෙට නැවත එයි" පොතේ
'දවසක් නිමාවෙයි' කතාවට ලියවුණු මගේ හදට දැනුණු සිතුවිල්ල...............)







බහරේන් සිට.....

අලුයම හතරටයි ඉර මල පිපෙන්නේ
සැවුල් නාදෙ නැත සවනත වැකෙන්නේ
ගහ කොළ නොවෙයි බිල්ඩින්මයි පෙනෙන්නේ
රෑන් පිටින් විහඟුන් නැත දකින්නේ

ගිනියම් සුළඟවිත් සිරුරම දවන්නේ
දූවිලි පිරුණු කණ අහසයි පෙනෙන්නේ
නිල්වන් ගුවන කවදා නම් දකින්නේ
නිරන්තරෙන් නෙත් දෙක මගෙ තෙමෙන්නේ

පිනි බිඳු පිරුණු තණ පලසක් කොයින්දෝ
මලින් වැසුණු ගස් වැල් මෙහෙ කොයින්දෝ
ලේන ගිරා මුව මී මැසි කොයින්දෝ
මහකතරක වැව් අමුණක් කොයින්දෝ

මුහුද ගොඩ දමා බිල්ඩින් තැනෙන්නේ
රට ඉඳි ගස්ය තැන තැන නෙත ගැටෙන්නේ
මා පිය නෑසියන්ගෙන් දුර වෙසෙන්නේ
කවදා කොහොම යළි ගම රට දකින්නේ