Wednesday, January 20, 2016

කවුද මේ තගා......??



" තග් " යන වචනය ඇසු පමණින්ම අපගේ මතකයට නැගෙන්නේ අපේ රටේ පාදඩ දේශපාලන සංස්කෘතිය හා ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කරන තක්කඩි කල්ලියයි. අපට බොහෝ හුරු පුරුදු තග් යන වචනය ඉංග්‍රීසි භාෂාවට පෙරලී ඇත්තේ ඉංග්‍රීසීන් විසින් ඉන්දියාව තම අධිරාජ්‍යවාදී විය ගසට ගැට ගැසීමෙන් අනතුරුවය. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව කන්නාඩ වේ. එම භාෂාවේ හොරා යන වචනය හඳුන්වන්නේ තකා ලෙසය. තකා යන වචනය ඉංග්‍රීසී බසින් උච්චාරණය වී ඇත්තේ තගා යනුවෙනි. අද වන විට දකුණු ආසියානු කලාපයට තග්ස් ලා නොමැතිව දේශපාලනය කිරීමද . රටේ නීතිය කරවීමටද බැරි තරම් වැදගත් තැනක් එම සංස්කෘතියට නිතැතින්ම හිමි වී ඇත. 

1740 සිට 1840 දක්වා කාලය තුල ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වල 'තග්' කල්ලි කණ්ඩායම් තමන්ගේ අණසක පතුරවමින් විසීය. මධ්‍ය කාලින යුගයේ විසු භායනකම මනුෂ්‍ය කොට්ඨාශය ලෙසද තගී වරුන් හඳුන්වනු ලැබීය. ඔවුන් කිසි විටක අවි ආයුධ පරිහරණය නොකළේය. එම කල්ලි වල මාරාන්තික අවිය ලෙස උපයෝගී කරගනු ලැබුවේ කපු රෙදි කඩකි. ශක්තිමත් නුලෙන් වියා ඇති එම රෙදි කඩ සෑම තගි සාමාජිකයෙකුගේම පසුම්බියේ තිබුණු අතර , මිනිසුන් මරා දැමීමේදී එක රෙදි කඩින් සතුරාගේ බෙල්ල තදින් වෙලා සිරකරනු ලබයි.

'තග්' සාමාජිකත්වය ඕනෑම කෙනෙකුට ලබාගත හැකි තනතුරක් නොවේ. එය බොහෝ විට පියාගෙන් පුතාට උරුම වුවකි. මධ්‍ය කාලීන යුගයේ විසු නුගත් ජනයා තග් කල්ලි හැඳින් වුයේ දාමරික කණ්ඩායමක් ලෙස නොව බලගතු පුජාවක් ඉෂ්ඨ කරන්නන් ලෙසය. මුළු මහත් සමාජයම ඔවුන් දෙස බැලුවේ බියකිනි. එම උප සංස්කෘතියට බඳවා ගන්නා සෑම ආධුනිකයෙකු හටම සියලු දුශ්චරිතයන් පිළිබඳව ක්‍රමානුකූල පුහුණුවක් ලබා දේ. එමෙන්ම දැඩි විනයකින් සියලුම සාමාජිකයින් බැඳ තබා තිබුණි. තමන්ට රිසි පරිදි කිසිවක් කිරීමට ඔවුන්ට හැකියාවක් නොතිබු අතර , සියල්ල සිදු වුයේ සාකච්චාවක ප්‍රතිපලයක් ලෙසය.

'තග්' කල්ලි විසින් බොහෝ විට මංකොල්ල කෑම් හා මිනී මැරුම් සිදු කරන්නේ ජන ශුන්‍ය ප්‍රදේශවලදීය. එවකට ඉන්දියාවේ ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ තවලම් මගිනි. එකී තවලමකට අවම වශයෙන් කරත්ත සියයක් හෝ තිබී ඇත. දින ගණනක් ගමන් කරනා මෙම තවලම් කරුවන් හා තග් වරු කුළුපග වේ. කිසිදු අවියක් හෝ නොපෙනෙන මේ මිනිසුන් ගැන විශ්වාශයක් ගොඩනගා ගන්නා තවලම් කරුවන් , ඔවුන් සමග කරට කර වැඩ කරමින් දුර ප්‍රදේශවලට ගමන් කරනු ලබයි. මේ කාලය තුල තග්වරුන්ගේ උපක්‍රම හා කපටිකම් තුලින් ගැලේ සිටින ධනවතා හඳුනා ගනී. අනතුරුව රාත්‍රිය උදාවීමත් සමගම මුදල් හා වස්තුව පැහැරගන්නා ඔවුන් , ගැලේ සිටි බොහෝ දෙනෙකු මරා පලා යයි.

'තග්වරු' මිනීමැරීමට උපයෝගී කරගත් රෙදි කඩ හැඳින් වුයේ රුමල් ලෙසය. එය බොහෝ විට කාකි පැහැයෙන් යුතු විය. පසුම්බියේ ඉතා සියුම් ලෙස සඟවා ගන්නා මේ මාරාන්තික ලේන්සුවෙන් වසර සියයක් තුල මිනිසුන් විසි ලක්ෂයක් මැරු බව මාර්ක් ට්වේන් විසින් ලියන ලද Following The Equvator පොතේ හා රිලීෆ් ටේලර් විසින් ලියන ලද Confession Of A Thug පොතේ සඳහන් වේ.

සටහන - චූලක බණ්ඩාරවත්ත