Wednesday, February 3, 2016

පේ‍්‍රමයේ විරහව ඔබ මට කියා දුන්නෙහිය


කලකිරීමෙන් හා හුදෙකලාව පීඩිත ව ගිය සිත් ඇති මොහොතක තමා නිතර ම කියවන නවකතාවක් ගැන ගුණදාස අමරසේකරයන් වරක් සඳහන් කර තිබුණා. ඒ තමයි මාර්ටින් වික‍්‍රමසිංහ ගේ ‘විරාගය’. එයින් කුමන හෝ පිටුවක් පෙරළා කියැවීමෙන් තමා මහත් අස්වැසිල්ලක් ලබන බව ඔහු එහිදි තවදුරටත් කියා තිබුණා.

මේක පෞද්ගලික ව මට ආදේශ කරලා ගත්තොත් එවන් මනෝභාවමය අවස්ථාවක මම කියවන්න අතට ගන්නේ ‘විරාගය’ නෙමෙයි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ නවකතාව.

‘විරාගය’ත් එක්ක සංසන්දනය කරල බැලුව ම ‘මළගිය ඇත්තෝ’ ඒ තරම් ගැඹුරින් මනුස්ස ජීවිතය විවරණය කරන්නා වූ අතිවිශිෂ්ට නවකතාවක් නොවන්න පුළුවන්. ඒත් මම ‘විරාගය’ට වඩා ‘මළගිය ඇත්තන්’ට පෞද්ගලික ව කැමැතියි.

චිප‍්‍රලම්භ ගෘංගාරය කියන දේ ‘මළගිය ඇත්තෝ’ නවකතාවේ විතරක් නෙමෙයි ඒක ‘විරාගයෙ’ත් තියෙනවා. ඒත් ‘මළගිය ඇත්තෝ’ මුල සිට අග දක්වා ම ගත්තොත් පේ‍්‍රමකතාවක් - පේ‍්‍රම කාව්‍යයක් - පේ‍්‍රම ගීතයක් වන නිසා ම ආදරයේ සුන්දරත්ව ය වගේ ම එහි ඇති අපරිමිත වේදනාවත් එක අතකින් සංකීර්ණ විදියටත් අනිත් අතින් අති සංවේදී හා භාවසූචක විදියටත් නිරූපණය වෙලා තියෙනවයි කියලා මම හිතනවා.

නවකතාවේ ප‍්‍රධාන කතා නායකයා දෙවෙන්දොරා සං. ජපන් නමක් වගෙ පෙනුණට ඔහු සිංහල. ඔහුට නොරිකෝ සං මුණගැහෙන්නේ ජපානයේදි. ඇය සුන්දර ජපන් යුවතියක්. නවකතාවේ දැක්වෙන ආකාරයට දෙවෙන්දොරා කලක් පැවිදි ව සිට පසුව සිවුරු හල පුද්ගලයෙක්. වෘත්තිමය වශයෙන් ගත්තොත් චිත‍්‍ර ශිල්පියෙක්.

දෙවෙන්දොරා ගේ වයස නවකතාවේ නිශ්චිත ව නොදැක්වුණත් ඔහු තරුණ විය මඳක් ඉක්මගිය, මැදිවියට එළැඹෙමින් සිටින අයකු බව පෙනී යනවා. එහෙත් නොරිකෝගේ වයස නම් නවකතාවේ ඉඟි කෙරෙනවා. ඇය අවුරුදු විස්සකට වඩා විය නොහැකි යයි තමාට හැඟෙන බව දෙවෙන්දොරා වරක් කියා සිටිනවා.

දෙවෙන්දොරා නොරිකෝගේ ජීවිතයට මුලින් ම ඇතුළුවුණා කියනවාට වඩා නොරිකෝ දෙවෙන්දොරාගේ ජීවිතයට මුලින් ම ඇතුළු වුණා යැයි කීම වඩාත් නිවැරැදි යැයි මා සිතනවා.

“දවසක් යමුද කබුකි බලන්න” නොරිකෝ කියා සිටිනවා. ඒක තමයි ඔවුන්ගේ සම්බන්ධයේ ආරම්භය. කබුකි බලන්න ගියායින් පස්සේ දවසක නොරිකෝ දෙවෙන්දොරාට තම නිවෙසට එන්නැයි ආරාධනා කරනවා. නොරිකෝ ගේ පියාත් පාරම්පරික සිත්තරෙක්.

මේ ගමනෙන් පස්සේ දෙදෙනාගේ බැඳීම තවත් වර්ධනය වෙනවා. ඔවුන් තෝකියෝ නගරයේ හැම තැන ම ඇවිදිනවා. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ දෙදෙනා ම තම තමන් ඔවුනොවුන්ට ආදරේ බව වචනයෙන් ප‍්‍රකාශ නොකිරීමයි. ඒක ඔවුන් කියන දෙයක් නෙමෙයි එකිනෙකාට දැනෙන දෙයක්;

දෙවෙන්දොරාගේ ජීවිතයේ කැළඹීමක් හටගන්නා මුල් ම සිද්ධිය වෙන්නේ නොරිකෝ තම අසල්වැසියකු සමග ආහාර ගැනීමකට කළ ඇරියුමක් පිළි ගැනීමයි. දෙවෙන්දොරාගේ හදවතට වේදනාවක් හටගන්නවා විතරක් නෙමෙයි එයින් ඇතිවූ ඊර්ශ්‍යාවෙන් ඔහු බලවත් සේ පීඩා විඳිනවා.

මුළු තෝකියෝ නගරය ම තමා විසින් කඩදාසියෙන් සාදන ලද සෙල්ලම් ගෙයක් සේ එකවර ම බිඳවැටුණු බව දෙවෙන්දොරා කියා සිටිනවා.

මේ අතරේ දෙවෙන්දොරා තෝකියෝ අතහැර කියොතෝවලට යන්න අදහස් කරනවා. ඒක දැනගන්නා නොරිකෝ දුක්බර බැල්මෙන් කියනා දෙයින් අප හදවත් සියුම් වෙණ තතක් සේ නොහැඬවෙන්නේ ද?

“යන්න එපා දෙවෙන්දොරා සං”

බැරිම තැන ඇය මෙහෙම කියනවා.

“යනවා නම් දෙවෙන්දොරා සංගේ සිරුරෙ සුවඳ, මේ ඇඳුම්වල සුවඳ තියලා යන්න”

(රත්න ශී‍්‍ර විජේසිංහ ‘සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්’ නම්වූ බොළඳ ගීතය ලිව්වේ මේ අවස්ථාව වස්තුබීජ කරගෙන.)

කියොතෝවලට යන්න කලින් දෙවෙන්දොරා නොරිකෝට වෙළෙඳ සලකදී වෙස් මුහුණක් තෑගි කරනවා. නොරිකෝ ගේ හිත කවදා නමුත් වෙනස් වුණොත් මේ වෙස් මුහුණ තමාට දෙන්නැයි ඔහු කියා සිටිනවා.

මොකද මේ තරම් භයානක මුහුණක් තේරුවේ?

”මගේ යටි හිත එහෙම තමයි ඊර්ශ්‍යාවෙනුයි නපුරුකමිනුයි පිරිලා.”

දෙවෙන්දොරා උත්තර දෙනවා. ඇත්තටම ඒක දෙවෙන්දොරාගේ ජීවිතය නිරූපණය කරන ඔහු ගේ ඇතුළු සිත විවරණය කරන සංකේතාත්මක අවස්ථාවක්. මේ අතර නොරිකෝ සෞම්‍ය වෙස් මුහුණක් ඔහුට තෑගි කරනවා. “මේක නැති වුණදාට මමත් ඉවරයි කියලා හිතාගන්න” ඇය කියනව. කියොතෝවලදි දෙවෙන්දොරා ගත කරන්නේ නන්නත්තාර ජීවිතයක්.

ඔහුට නිරන්තර දැනෙන එකම දේ නොරිකෝ අමතක කර දැමීමට නොහැකි බව පමණයි. සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීම සඳහා දෙවෙන්දොරා ගේෂා ස්ති‍්‍රයක් ඇසුරු කරන්න පටන් ගත්තත් ඔහු එයින් වුණත් කායික තෘප්තියක් කෙසේ වෙතත් භාවමය අස්වැසිල්ලක් ලබන්නේ නැහැ. සැබෑ ආදරය ජිවිතයේ පතුළට කිඳ්‍ර බැස එහි ඇති දුකෙන් තැවරෙන බව දෙවෙන්දොරා කියා සිටිනවා.

දෙවෙන්දොරා ආයෙත් තෝකියෝවලට එනවා. ඒ එනකොට ඔක්කොම වෙනස් වෙලා. කොටින්ම නොරිකොත් වෙනස්වෙලා බව ඔහුට හිතෙනවා. ඈ කිසි කලෙක තමාට ආලය නොකළ බවත් ඇය හුදෙක් තමාට කරුණාවෙන් සැලකුවා පමණක් බවත් ඇය තමා සමඟ කතාබහ කිරීමට පි‍්‍රය කළා පමණක් බවත් ඔහු හිතන්න ගන්නවා. කොහොම වුණත් මෙවර දෙවෙන්දොරා නවතින්නේ නොරිකෝගේ නිවෙසේ කාමරයක.

ඒ වනවිට ඇගේ පියා මිය ගිහින්. නොරිකෝ වෙනත් රැකියාවකට යනවා. ඇයට දෙවෙන්දොරා එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ. සියුම් හදක් ඇති දෙවෙන්දොරාට මේක දරාගන්න බැරිව යනවා. ඔහු බැරිම තැන ඇයට මෙහෙම කියනවා.

”මාව මරන එක මීට වැඩිය හොඳයි. මාව මරන්න.”

නොරිකෝ තමාට තෑගි කළ සෞම්‍ය වෙස් මුහුණ ඔහු ඇගේ කාමරයේ තබා නිදිපෙති බොනවා. ඔහුට ඕනෑ ජීවිතය නැති කර ගන්න. ඒත් ඔහු මිය යන්නේ නැහැ. නොරිකෝ ඔහුට ලියුමක් ලියනවා.

”ඔබ මගේ වෙස් මුහුණ ආපහු දුන් නමුත් මම ඔබේ වෙස් මුහුණ ආපහු දුන්නේ නැහැ.”

’මළගිය ඇත්තෝ’ නවකතාව නිම වන්නේ නිශ්චිත අවසානයකින් තොරව. එය එහි දෙවැනි කොටස වන ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවත් එක්ක ඊළඟට ඈදෙනවා.

’මළගිය ඇත්තෝ’ එහි කතුවර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ම අත්දැකීමකින් ලියැවුණු කෘතියක් ද? මෙබඳු ප‍්‍රශ්නයක් පැන නඟින්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර කාලයක් ජපානයේ ජීවත්වුණු නිසා.

කෙසේ වෙතත් ඒ ප‍්‍රශ්නයට කිසියම් පිළිතුරක් ඔහු ලියූ ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් වු ස්වයං ලිඛිත චරිතාපදානයෙන් ලැබෙනවා. නොරිකෝගේ චරිතය තමා දැන සිටි ජපන් ස්තී‍්‍රන් දෙදෙනකු ඇසුරෙන් ගොඩනඟන ලද්දක් බව එහිදි මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියා සිටිනවා. එහෙත් ඒ චරිතය ගැන ඊට වැඩි විස්තරයක් කිරීමෙන් ඔහු වැළකී සිටිනවා.

මහාචාර්ය සරච්චන්ද්‍ර ජපානයේ සිටියදී ජීවත්වුණේ පාරම්පරික ශිල්පියකුගේ නිවෙසේ. (නොරිකෝගේ පියාත් පාරම්පරික චිත‍්‍ර ශිල්පියෙක් බව මා මීට කලිනුත් සඳහන් කළා). එම ශිල්පියාගේ පුතා තෙරුඕ. දුව කිමිකෝ. තෙරුඕ ගේ බිරිය චියෙකෝ. නවකතාවේ නොරිකෝගේ සොහොයුරු හිදෙජි හා ඔහුගේ බිරිය චියෙකෝ ගේ චරිත මේ තෙරුඕ හා චියෙකෝ ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙනවයි කියලා අපිට හිතන්න පුළුවන්. කිමිකෝ ගේ චරිතය නවකතාවේ දැක්වෙන්නේ මෙමොකෝ වශයෙන්.

එසේ වුවත් නොරිකෝට පාදක වූ ජපන් ස්ති‍්‍රය ගැන තොරතුරු සඟවා තබන්න තම ස්වයං ලිඛිත චරිතාපදානයේදි මහාචාර්ය සරච්චන්ද්‍ර උත්සාහ ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

මේ අතර ප‍්‍රවීණ කවියකු හා නිශ්චල ඡායාරූප ශිල්පියකු වන ලාල් හෑගොඩ මෑතදි කළ ජපන් සංචාරයකදි ඔහුට මුණ ගැසුණු එක් ජපන් ස්ති‍්‍රයක් නිසා නොරිකෝ පිළිබඳ අවධානය නැවතත් ‘මළගිය ඇත්තෝ’ පාඨකයන් වෙතින් යොමුවුණා. ජපානයේදි ලාල් ට මුණගැසී ඇති අකිකො සං නමැති ස්ති‍්‍රය ඔහුගෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර පිළිබඳ තොරතුරු විමසා තිබෙනවා.

ඇය මෙසේ කියා තිබෙනවා. “..... මම කියවපු සියලුම නවකතා අතරෙන් මා කැමැතිම නවකතාව ‘මළගිය ඇත්තෝ’. ඒක මගේ ජීවිතේට හුඟක් සමීපයි. මම එතුමාට ආදරෙයි. මහාචාර්ය සරච්චන්ද්‍ර ජපානයට ආවම මම එතුමා හමුවුණා... අපේ අවන්හලට එන බව එතුමා කිව්වා. එදා දවස පුරාම මම මඟ බලා හිටියා. ආවේ නැහැ. ඊළඟ දවසෙත් බලන් හිටියා ආවේ නැහැ. මොකක් හරි වැදගත් වැඩක් තියෙන්න ඇති.” (උපුටා ගැනීම ‘ඉරිදා ලක්බිම’ පුවත්පතිනි) එහෙත් ලාල් කියනකම් ඒ වෙනකොට මහාචාර්ය සරච්චන්ද්‍ර මළගිය ඇත්තන්ගේ ලෝකයට ගිහින් බව ඇය දැනන් ඉඳලා නැහැ.

නොරිකො ගේ ඇත්ත නම කිමිකෝ බවත් ඉහත ලිපියේ සඳහන්ව තිබෙනවා. (අකිකො කියන්නේ අවන්හලේ කාන්තාව‘ යන්නටයි.)

එතකොට දෙවෙන්දොරා සං? ඒ මහාචාර්ය සරච්චන්ද්‍රම ද? මේ චරිතය නිර්මාණය කිරීමේදි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ප‍්‍රකට චිත‍්‍ර ශිල්පි මංජු ශී‍්‍ර ගේ චරිතය බලපාලා තිබෙන බවක් කතාව මුලදි අපට පෙනෙනවා. එහෙත් පෙ‍්‍ර්මය පිළිබඳ වන අත්දැකීම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ම පෞද්ගලික ඒවා වෙන්න පුළුවන්.

’මළගිය ඇත්තෝ නිශ්චිත අවසානයකින් තොරව නිම නොවූවත් එහි දෙවැනි කොටස වන ‘මළවුන් ගේ අවුරුදු දා’. නවකතාව හමාර වන්නේ නිශ්චිත අවසානයකින්. එනම්, දෙවෙන්දොරා සංගේ මරණයෙන්.

ඉන්පසු තනිවන නොරිකෝ මෙහෙම කියනවා. “යළි ආ හැකි නිසා නොවෙද ඔහු යන්නේ? නොගිහින් යළිත් ආ නොහැකිය. යෑම හොඳය. ගොස් ඊමද හොඳය. ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්ට බැරිය. නොගිහින් එන්ට බැරිය.”

සු.මි.
සිළුමිණ

8 comments:

  1. සු.මි. කියුවේ සුනිල් මිහිඳුකුල ද? මන් හිතුවේ උඹ ලියුව එකක් ය කියලා..

    මේ පසුබිම් කතා බොහොමයක් දැනගත්තේ අද..

    ReplyDelete
    Replies
    1. සුනිල් මිහිඳුකුල වෙන්න ඕනෙ.සටහන් කරලා තිබ්බේ සු.මි. කියලා.

      Delete
  2. ”මාව මරන එක මීට වැඩිය හොඳයි. මාව මරන්න.”

    ReplyDelete
    Replies
    1. අනේ මං පාතාල ලෝකෙ කෙනෙක් නෙමෙයිනෙ.
      ඊටත් Anonymous කෙනෙක්ව කොහොම මරන්නද?

      Delete
  3. උසස් පෙළ පන්තියේ ඉන්න සිසුවියක් විදිහට BOSS නංගිට මේ පෝස්ටුව කියවන්ට ලැබීම ඇත්තෙන්ම රන් මසුරන් ආයුබොවන්ඩ​..ජයෙන් ජයම වේවා ඕං !

    ReplyDelete
  4. මේ පොතේ පින්තූරය දැකල බ්ලොගේට ආවේ .දන්නවද අද උදේ තමා මම මළවුන්ගේ අවුරුදු දා පොත කියවල ඉවර කලේ .කලින් මලගිය ඇත්තෝ පොත කියවල කතාවේ තිබ්බ. රසය කුතුහලය නිසාම ඒ හුස්මටම අනෙක් පොතත් කියවන්න පටන් ගත්ත. හැබැයි දෙවෙනි පොත කියවද්දී නොරිකො ගැන මගේ හිතේ තිබ්බ පහන් හැඟීම් සියල්ල බිඳිල ගියා. සැබෑවටම සෞම්‍ය මුදු තැන්පත් හදවතක් තියෙන්නෙ දෙවෙන්දරෝ සං ට කියල හිතුන. නොරිකො සං ගේ හිත මෙන්ම ආදරේත් එහෙට මෙහෙට වැනෙන ව්‍යාකුල ආදරයක්. දෙවෙන්දරෝ සං නොරිකොගෙන් දකින ආදරය නෙවේ ඇය තුල තියෙන්නේ කියල හිතුන. සකායි කතාව එහෙම කියවල ජපන් ස්ත්‍රීන්ට තියෙන්නේ සංයමයක් තියන මෘදු මොලොක් හදවතක්ය කියල මගේ හිතේ තිබ්බ සිතිවිල්ල මේ කතාවෙන් විනාශ උනා වගේ. තවදුරටත් නොරිකො සං චරිතයට මොකුත් කියන්න යන්නේ නැහැ. කොහොම උනත් පලවෙනි කතාවේ නොරිකොට අනුකම්පා කල මං දෙවෙනි කතාවෙදි දෙවෙන්දරෝ සංට අනුකම්පා කළා .. සරච්චන්ද්‍රයන්ගේ කතාවක් මම මේ කියෙව්ව පලවෙනි අවස්ථාව... කතා පොත් දෙකම හරිම රසවත්.මේ ආදරය මිනිස් සිත ජීවිතය ගැන සියුම්ව කියාදෙන විශිෂ්ටම ගණයේ කෘතියක් කිවොත් මම හරි :)

    ReplyDelete
  5. අදහස් දැක්වීමට ස්තූතියි හංසි...

    ReplyDelete