Friday, February 12, 2016

මිය ගිය උවැසිය- මොනිකා කිවිදිය






මිය ගිය උවැසිය- මොනිකා කිවිදිය

නවාතැන් පොළෙන් සමුගත් ළබදිය

නවාතැන් පොළේදි යළිත් හමුවිය...


කවියෙන් දුටුවෙමි ඇය හද රිද්මය....











මොනිකා රුවන් පතිරණ කිවිදිය දිවයින ඉරිදා පත්‍රයට ලියූ "නවාතැන් පොළේ"නමැති ලිපි පෙළ කෘතියක්‌ ලෙස පළවී තිබෙනු, කියවීමි. ඇය එය රචනා කොට ඇත්තේ තම සමාජ මෙහෙවර සඳහා නැවති සිටිය තැන්වල මානව දයාවෙන් පිරිපුන් ඇගේ හද සසල කළ අවස්‌ථා හා සිද්ධි ඇසුරෙනි. එහෙත් මේ ලියන්නේ _විත නවාතැන් පොළ හැර දැමූ මේ උදාර ගැහැනියගේ අසීමිත මානව ප්‍රේමයේ කවි කෘතිය පිළිබඳවයි. ඇය මිනිසුන් වෙනුවෙන් විමසූ, කැපවුණු ගැහැනියකි. ගැහැනුන් නොදුටු දේ ගැහැනු නෙතින් උරාගත් ඇය නවාතැන්පොළ ලිපි පෙළ හරහා මවන්නී ඒ අදහස්‌ය. ගැහැනියක ලෙස ඉපිද ගැහැනියක නිසාම විඳින වද වේදනා සියෑසින් පසක්‌ කරන්නී නවාතැන්පොළ හරහා අනුවේදනීය දිසාමානයන් කරා පාඨකයා ගෙනයන්නීය.


ආශ්චර්යයක්‌ කරා යන ගමනේ ශ්‍රී ලංකාවේ දුක්‌ විඳින ජනතාව හා එම දුක හිසින් ගෙන, හෙට ලොවක නැවුම් සිහින ගෙන අගුපිළේ රෑ සිහින දකින ගැහැනුන් දුටු පතිරණ කිවිදිය කරුණා පිරුණු උවැසියක සේ සෝකවන්නීය. ඒ සෝකය ඇයගේ හදවත තුළ නොරැඳී පිටාර ගැලුවේය. ප්‍රේමයත්, එයින් ගෘහණියක වන ගැහැනියත් බොහෝවිට, සැබෑවටම ලාංකීය සමාජය තුළ කැටයක්‌ බවට පත්වෙයි. මෑතකදී රක්‍ෂණයක්‌ වෙනුවෙන් ස්‌වාමියා අතින් මිය ගිය කාන්තාවක කියා පෑවේද උක්‌ත දුර්භාග්‍යයේ තරමයි. මොනිකා කිවිදිය මෙබඳු පැතිකඩ විනිවිද දකියි. වරක්‌ ඇය දුටු ගැමි නව යොවුන් තරුණියක සිය අතේ අත්ල අහිමි වූ එකියකි. 

ඒ ෆැක්‌ටේරියේ වැඩට ගොස්‌ සිදුවුණු අකරතැබ්බයකි. එහෙත් ඇයගේ මව ඊට කිසිදු මුදලක්‌ නොගත්දි ඉල්ලා තිබුණේ තම දියණියගේ අත නැවත දීමට හැකි නම් එයයි. මොනිකා කිවිදිය සිය කවි වැගුරුවේ මෙසේය, ඇය වෙනුවෙන්.


ඇගේ ඇඟිලි සොරු අරගෙන ගියෝයා

එකී ඇඟිලි මුදලට සම නැතෝයා
කාසි දහසක්‌ ගනු කෙසේයා
ඇගිලි නොම ලදොත් මගෙ දිවි නැසේයා

මේ කුඩා දැරියත්, ඇයගේ මවත් ළතවෙන අයුරුය. තව වරක්‌ ඇය බංගලාදේශයේ සංචාරය කරත්දී දුටු දෙයින් හද ස්‌වර ප්‍රකම්පිත විය. අවුරුදු දොළසක දැරියක්‌ අවුරුදු හතළිස්‌ ගණනක්‌ වයසැති අයකුට විවාහ කරදී ඇය ගෙන යාමට පැමිණ විට එම දැරිය දුව යන දසුනකි ඒ. තම දෙමාපියන්ගේ උණුසුම ලැබිය යුතු මේ දැරිය පිරිමියකු අතපත්ව කුමන පිපතක්‌ ඉවසන්නට සමත්වෙයිද? මේ කුඩා දැරිය බිල්ලක්‌ බවට එම සමාජ සංස්‌කෘතිය තුළ පත්ව ඇත්තේ ගැහැනිය පිළිබඳ වත්මන් සෑම සමාජයකම පාහේ දැකිsය හැකි පරිභෝජන භාණ්‌ඩයක්‌ පමණක්‌ වීම පෙන්වාලමිනි. 

එහෙත් කවියකුට කළ හැක්‌කේ කුමක්‌ද? එම කඳුළු කතා කඳුළු අකුරින් අමුණා පාඨක නෙතග තෙත් කිරීමට තැත් දැරීම පමණි. මේ බංගලාදේශ බොළදිය වෙනුවෙන් අප කිවිදිය ඇමුණූ කවි කඳුළුය.


බොළද ළමා සිතිවිල්ලේ සරන්නියේ
අණසක බිඳින්නට නොහැකිව හඬන්නියේ
දෙවියකු පිහිට වේදැයි මග බලන්නියේ
අවසන කොතැන වෙද නොමදැන දුවන්නියේ



නොපිපුණු කැකුළ බිල්ලට පුද කරන්නිද
නොවැඩුණු උකුළ තුළ කළලය වඩන්නිද
නොවැඩුණු ළැමෙන් බිළි¹ට කිරි පොවන්නිද
නොපැසුණු සිත කයින් ගැහැනියක වන්නිද


කවා පොවා දරු සතපා ළඟින් හිඳ
ගෙවතු මල් වාවා යළි ගේ දොර ඇමද
සිරි යහනේ මොහොතක්‌ නිදි ලබන සඳ
මිය ගිය ළමා ළොව සිහිනෙන් පෙනේවිද


මෙසේ මිය යන මල් කැකළු එක්‌ දේශයකට හෝ කාලයකට අයත් නොවෙයි. මොනිකා කිවිඳිය උවැසියක සේ මේ සියල්ල දකියි. අපට කියයි. එසේ කියන්නී ඇය මිය ගියද අනාගත මී මුනුබුරු මිනිබිරියන්ට හෝ මේ ආච්ර්ණකල්පික මතයන්ගෙන් මිදී නව ලොවක නව අරුණලු දකින්නට වෙර දරන ලෙස පැවසීමටයි. අනාගතයේ ඇය දුටු මෙම අවිනිශ්චිත ස්‌වභාවය අද අපට පසක්‌ වෙමින් පවතියි. 


ඇය මෙන් අපටද මෙම නවාතැන් පොළෙන් හැකි ඉක්‌මනින් සමුගන්නට ඇත්නම් කදිම යයි අපට සිතෙන්නේ එබැවිනි.


වැව් ගොඩවී තාවුල්ලේ අවන්හල්ද සැදීලා
පුරන් කුඹුරුවල දුම්කොළ ගහකින් උක්‌ වැවිලා
දඬුමොණරෙන් රජ මැතිවරු අහසෙන් එති වැඩලා
නිලමේවරු පැජරෝවෙන් යති දුහුවිලි පිඹලා

ගම්මානෙන් පෙකිනිය සිඳ විශ්වය ගැන උගෙනා
මුණුපුරුවරු දසතේ යති අත සහතික රැගෙනා
මෙරටෙහි සළු පිලි වියමින් රට තෙල් ළිං පිහිනා
මිණිපිරියන් එවන කාසි හඬ ගම්දොර ඇසෙනා

මෙවිපත් හඳුනන කිසිවකු පහළ වෙන බැවිනා
පින්වත් දියසෙන් කුමරකු මැවිය යුතුය ඉතිනා
වස්‌ පණහක්‌ ගිය තැන දැඩි සොවින් ලියා තබනා
මී මුනුපුරු මිණිපිරියනි තොපටයි මේ වදනා


ඇය අවසන අපගෙන් අසන්නේ තවමත් නොවිසඳී, එහෙත් අප හදවත් තුළම වහා විසඳිය යුතු පැනයකි. ඒ පැනය අපේ අම්මා වෙනුවෙනි. නංගී වෙනුවෙනි. අක්‌කා වෙනුවෙනි. සොයුරිය වෙනුවෙනි. ඇයගේ කිවි සිත මානව දයාව පිරිපුන් දුකම දැක සංතාපයට පත්ව, එවුන්ගේ දුක නිවීමේ පැතුමම කේන්ද්‍ර කරගත් එකක්‌ බවට මේ පැනයම දෙස්‌ දෙයි.

ඇතැම් චිත්‍රපට ටෙලි නාට්‍ය හා විවිධ කලා මාධ්‍ය හරහා මැවෙන හාණ්‌ඩ ගැහැණියගේ සිතුවමට අනුගත වෙනු වෙනුවට ජීවිතයට මුහුණ දෙන ගැහැණියකගේ ප්‍රතිරූපය වර්ධනයට කාලය එළඹී නොමැත්තේද?

මොනිකා කිවිඳි උවැසිය මා මුලින්ම හද තුළ රඳවා ගත්තේ උසස්‌ පෙළ ලෙච්චමීගේ සිතුවිල්ලෙනි. එහෙත් ඇය හමුවීමට තරම් මා පින් කොට නොතිබිණි. මරණය ගැන ලියූ එයින් ජීවිතය ගැන කියූ මේ සොඳුරු සිතැත්තිය අප හැර ගොසිනි. එහෙත් ඇය ලියූ කවි ඇය මිය ගිය බව අපෙන් වසන් කරයි. ඒවා දකින කියවන මොහොතක්‌ පාසා කවියක්‌ කරන හදියක තරම දැනෙයි. ඉන් හද කම්පා වෙයි. මානවීය ආස්‌ථානයන් සකස්‌කරවීමෙහි කවියෙහි වගකීම ඇය මනාව අවබෝධ කරගෙන සිටියාය. නැවතත් සොඳුරු නවාතැන් පොළකදී ඇය හමුවේ නම්.... එවිටද ඇය අහිංසක මිනිසුන්ගේ දුකම ගැන දොඩනු අරුමයක්‌ නොවනු ඇත.


තෙඹුකැටියේ ධම්මානන්ද හිමි
සහාය කථිකාචාර්ය
සිංහල අධ්‍යයනාංශ්‍යය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය


උපුටා ගැනීම - දිවයින



මොනිකා රුවන් පතිරණ විසින් රචිත විසි වසක ශේෂ පත්‍රය

ආසිරි ගීත විසුරුවා ගම් දොර සිසාරා
මංගල රියෙහි නංවා පෙරහරක නළවා
දිනයෙක ඇතුල් කළ මඟුල් සේයා රුවෙන් මේ
ඔබ අමතනා අප මෙදා ඒ දම්පතින්මයි

සම් මස් නහර ඇඟිලි රන් මුදුවල ම සිර වී
කල් ගිය වරල පලඳනා කටු ඔටුනු වීලා
රන් දම් යදම් වී කෙමෙන් ගෙල සිර වූ සන්දා
සඟවා තබා ඇත තවම කිට්ටම් නිවාසේ

මල් කුමරුවන් කුමරියන් පිරිවරට ආවත්
උන් හා නැටුම් කෙළි කවට ලුහුඬින් ම නිම වී
තෙරපෙන බරින් ජීවිතේ මල් සිනා මැරුණත්
දුක් සැප කුමන්දා බසක් ඇසුවෝ නො වෙත්මැයි

ලඹ දුන් සුවඳ නන් කුසුම් උඩු වියන් සෙවණින්
බැස පෝරුවෙන් පා තබා පුන් කලස් අතරින්
එ මඟුල් සේයා රූ සමඟ තවලමෙහි ඇදෙමින්
මැඳුරින් මැඳුර ගෙවු කුලී ගිය දුර නිමක් නැත්

අසමින් අපේ ගුණ වරුණ නෑ සිය මුවින් ගැයූ
සපැමිණ ලැගුම් ගත් එදා වීදුරු නිවාසේ
සුරකින වෙර දැරුයෙන් මතු මතුත් දිවි හිමියෙන්
අවසර නොවීමය උනුන් හඳුනන්ට කිසිදා

ගිවිසුම් සදමින් සොඳ පවුරු වීදුරු නොබින්දා
විසි වස් ගෙවුණත් ජය මඟුල් ආසිරි බලයෙන්
මතු දෙදරුම් වළකා මඟුල් හස රැලි රකිත්වා
කල් යල් පැමිණි වග නෑසියනේ සිතත්වා


මේ කවිය.....



උත්සවශ්‍රීයෙන් ඥාති සමූහයා මැද විවාහප්‍රාප්ත යුවලකගේ විවාහ ජීවිතයහි සැඟ ව ඇති යථාර්ථය විසි වසරකට පසු එදා සිටි ඥාති, මිත්‍ර සමූහයා ඉදිරියේ කරන ප්‍රකාශයක් ලෙස මේ නිර්මාණය ඉදිරිපත් වේ. කිවිඳිය මේ සඳහා යොදාගන්නා විරිත ද, අතීතයේ දී ගායනා කළ මඟුල් සිලෝවල ගායනා රීතියට නෑකම් කීම, උත්ප්‍රාසයක් ලෙසින් නිර්මාණයෙන් මතු ව පෙනේ.

මංගල දිනයෙහි මනාලියන් ඇඳුම් පැලඳුම්, ඡායාරූප, ආසිරි ගීය, අනුශාසනා, මනාලියගේ මල් කුමර කුමරියන්, ‘පෝරුව, උඩුවියන්, පාවඩ ඈ සියල්ල වර්තමාන ජීවිතයේ ස්වරූපය සමඟ ඡේදනය කරමින් හා සසඳමින් එදා සහ අද අතර පරාසය පිළිබඳ ව නැවත සිතීමට අප පොළඹවයි. මේ යථාර්ථය ප්‍රකාශ කිරීමට කිවිඳිය යොදා ගන්නා උපක්‍රම ඉතා කාව්‍යෝචිත ය.

“ආසිරි ගීත විසුරුවා ගම් දොර සිසාරා
ඔබ අමතනා අප මෙදා ඒ දම්පතින්මයි..”

ලෙසින් අරඹන නිර්මාණයෙන් ද්වනිත වන්නේ උපහාරය, ශක්තිය, වේදනාව වැනි භාවයන් සමුදායකි. ඇය නිවාස කුලියට ගනිමින් දීර්ඝ ජීවිත චාරිකාවක් කළ බව ප්‍රකාශ කරන්නේ උචිත උපමා, ද්වනිය මතු කරන නව අරුත් සමූහයක් නිර්මාණය තුල පිහිටුවමිනි.

“ඒ මඟුල් සේයා රූ සමඟ තවලමෙහි ඇදෙමින්
මැඳුරින් මැඳුර ගෙවු කුලි ගිය දුර නිමක් නැත්...

මේ නිර්මාණය ඉදිරිපත් කරන ශෛලිය, ආකෘතිය, විරිත, බස පමණක් නොව නිර්මාණයට දී ඇති මාතෘකාව පවා නිර්මාණය තුළින් ප්‍රකට කරවන අත්දැකීමට මනා අපූර්වත්වයක් එක් කර ඇත. ‘ශේෂ පත්‍රය’යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ භෞතික, අප්‍රාණික ප්‍රතිඵලයක් විනා ජීවමානවූත්, සජීවී වූත් මනරම් ජීවිත සංකලනයක් නොවන බව රසිකයාට අවසානයේ ප්‍රත්‍යක්ෂ වේ.

ජයන්තා රුක්මණී සිරිවර්ධන

ගැහැනියකගේ ජීවිතයේ ලස්සනම දිනය ඇය මනාලියක වනදා ය. ඥාති මිත්‍රාදින්ගෙන් ලැබෙන සුබ පැතුම් අවවාද නිමක් නැත. සුදු සේල අන්දා මල් ගවසා, වේල්පට පලදා ඇය පෝරු මස්තකයේ හිද ඔහුගේ මනාලිය වූවාය. මංගල රථයේ නැග රථ පෙරහරින් ගොස් සිහින් සිනා විදහා මංගල සේයාරුවකට පෙනී සිටියාය. මංගල උත්සවය එතෙකින් නිමා විය.

ඉන්පසුව ඇරඹියේ යුග ජීවිතයයි. පවුල නැමති සංස්ථාව රැක ගැනීමට කළ දුෂ්කර ක්‍රියා අපමණය. ඇයට මේ සියල්ල සිහිපත් වන්නේ් මංගල සේයාරුව දැකීමෙනි. වසර විස්සක අතීතය හා වර්තමානය පිළිබඳව මෙන්ම අනාගතය පිළිබඳව යම් ඉඟියක් ද ඇය විසිවසක ශේෂ පත්‍රයෙන් කියනු ලබයි. මොනිකා රුවන්පතිරණ නම් වූ කිවිඳිය විසින් රචිත විසිවසක ශේෂ පත්‍රය කවියෙන් ඇය පවසන්නේ ගෙවී ගිය වසර විස්ස තුළ ජීවිතයේ සිදුවූ විවිධ වූ හැල හැප්පීම් සමඟ පවුල් ජීවිතය රැක ගැනීමට සිදුවී වෙහෙස අපමණ බවය. එය සොඳුරු මෙන්ම කටුක අත්විඳීමකි.

සම්මස් නහර ඇඟිලි රන් මුදුවලම සිරවී
කල්ගිය වරල පලඳනා කටු ඔටුනු වීලා
රන්දම් යදම් වී කෙමෙන් ගෙල සිරවූ සන්දා
සඟවා තබා ඇත තවමත් කිට්ටම් නිවාසේ

කුලී ගෙදරින් කුලී ගෙදරට යමින් පවුල් ජීවිතය රැග ගැනීමට කළ අපමණ කැපකිරීම් මෙන්ම ගැටුම් වලකා ගනිමින් විසි වසරක් ගත කළ අයුරුත් ඇය සිහිපත් කරයි. ඒ සියල්ලට මංගල දා ලැබුණ සුබපැතුම් ජයමංගල ගී ආශිර්වාද බලපෑ බවත් ඇය පවසන්නීය.

මෙහිදී කිවිදිය ව්‍යංගයෙන් මෙන්ම ඍජුවම පවසන්නේ විවාහ ජීවිතයේ බාධක ජයගැන්මට අපමණ වෙහෙස වූ බවය. කැපවූ බවය. එමෙන්ම තවමත් එකිනෙකා හඳුනා ගැනීමට දරන උත්සාහයත්, මංගල දිනයේ පෑ සිනහව විසිවසරක් රැක ගැනීමට ගත් උත්සාහයත් ඉදිරියට එය රැක ගැනීමට ගන්නා උත්සාහයත් පිළිබඳව පවසන්නීය. ඒ සිනහව තුළ සැඟව ඇති දුක, කටුකÀවය අපමණය. බොහෝවිට නෑදෑයින් ජීවිතයේ සතුට දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව නොවිමසූ තරම්ය.

”තෙරපෙන බරින් ජීවිතේ මල් සිනා මැරුණත්
දුක සැප කුමන් දා බසක් ඇසුවෝ නොවෙත්මයි”

නව කවි පරපුරට අයත් මොනිකා රුවන්පතිරණ කිවිඳිය බොහෝවිට සමාජ අසාධාරණ කම්වලට මුහුණ දුන්නවුන්ගේ ජීවිත අත්දැකීම් පිළිබඳව නිර්මාණ යොමු කළාය. ඇගේ භාෂාව සරලය. එනමුදු ඒ සරල බව තුළින් ඇය මතු කළ ප්‍රශ්න ප්‍රබලය.

අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක්, තහනම් දේශයකින්, අංගුලිමාලගේ සිහින, ඔබෙ යෙහෙළිය – ඇය ගැහැනිය, විසිවසරක ශේෂ පත්‍රය යන කාව්‍ය ග්‍රන්ථ කිහිපය ඈ විසින් රචනා කොට ඇත.

ඉසවි

6 comments:

  1. මාත් කැමතිම කවිදියක්
    තේ දල්ල් කදුල පියසේනගෙ කවිය
    ඇත්තටම හිත හිල් කරන කවි

    ReplyDelete
  2. මට මතකයි ඇගේ කවි 11 වසරේ සිංහල සාහිත්‍යය පොතෙත් තිබුනා. ඇගේ සමාජය පිලිබද ලියපු කවි ගොඩක් ලස්සනයි..

    ReplyDelete
  3. මොනිකා රුවන්පතිරන මහත්මිය පසුගිය 89 භීෂන සමයේ ආරක්ෂක අංශවල යම් වධහිංසාවකට ලක් වුනාද
    ඇය වධකාගාරයක සිරකරගෙන සිටි සිදුවීමක් වුනාද
    මෙය මට අසන්ට ලැබුන දෙයක් . ඇත්තද බොරුද

    ReplyDelete
  4. කනගාටුදායක ආරංචියක්.

    ReplyDelete