Wednesday, January 20, 2016

කවුද මේ තගා......??



" තග් " යන වචනය ඇසු පමණින්ම අපගේ මතකයට නැගෙන්නේ අපේ රටේ පාදඩ දේශපාලන සංස්කෘතිය හා ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කරන තක්කඩි කල්ලියයි. අපට බොහෝ හුරු පුරුදු තග් යන වචනය ඉංග්‍රීසි භාෂාවට පෙරලී ඇත්තේ ඉංග්‍රීසීන් විසින් ඉන්දියාව තම අධිරාජ්‍යවාදී විය ගසට ගැට ගැසීමෙන් අනතුරුවය. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව කන්නාඩ වේ. එම භාෂාවේ හොරා යන වචනය හඳුන්වන්නේ තකා ලෙසය. තකා යන වචනය ඉංග්‍රීසී බසින් උච්චාරණය වී ඇත්තේ තගා යනුවෙනි. අද වන විට දකුණු ආසියානු කලාපයට තග්ස් ලා නොමැතිව දේශපාලනය කිරීමද . රටේ නීතිය කරවීමටද බැරි තරම් වැදගත් තැනක් එම සංස්කෘතියට නිතැතින්ම හිමි වී ඇත. 

1740 සිට 1840 දක්වා කාලය තුල ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වල 'තග්' කල්ලි කණ්ඩායම් තමන්ගේ අණසක පතුරවමින් විසීය. මධ්‍ය කාලින යුගයේ විසු භායනකම මනුෂ්‍ය කොට්ඨාශය ලෙසද තගී වරුන් හඳුන්වනු ලැබීය. ඔවුන් කිසි විටක අවි ආයුධ පරිහරණය නොකළේය. එම කල්ලි වල මාරාන්තික අවිය ලෙස උපයෝගී කරගනු ලැබුවේ කපු රෙදි කඩකි. ශක්තිමත් නුලෙන් වියා ඇති එම රෙදි කඩ සෑම තගි සාමාජිකයෙකුගේම පසුම්බියේ තිබුණු අතර , මිනිසුන් මරා දැමීමේදී එක රෙදි කඩින් සතුරාගේ බෙල්ල තදින් වෙලා සිරකරනු ලබයි.

'තග්' සාමාජිකත්වය ඕනෑම කෙනෙකුට ලබාගත හැකි තනතුරක් නොවේ. එය බොහෝ විට පියාගෙන් පුතාට උරුම වුවකි. මධ්‍ය කාලීන යුගයේ විසු නුගත් ජනයා තග් කල්ලි හැඳින් වුයේ දාමරික කණ්ඩායමක් ලෙස නොව බලගතු පුජාවක් ඉෂ්ඨ කරන්නන් ලෙසය. මුළු මහත් සමාජයම ඔවුන් දෙස බැලුවේ බියකිනි. එම උප සංස්කෘතියට බඳවා ගන්නා සෑම ආධුනිකයෙකු හටම සියලු දුශ්චරිතයන් පිළිබඳව ක්‍රමානුකූල පුහුණුවක් ලබා දේ. එමෙන්ම දැඩි විනයකින් සියලුම සාමාජිකයින් බැඳ තබා තිබුණි. තමන්ට රිසි පරිදි කිසිවක් කිරීමට ඔවුන්ට හැකියාවක් නොතිබු අතර , සියල්ල සිදු වුයේ සාකච්චාවක ප්‍රතිපලයක් ලෙසය.

'තග්' කල්ලි විසින් බොහෝ විට මංකොල්ල කෑම් හා මිනී මැරුම් සිදු කරන්නේ ජන ශුන්‍ය ප්‍රදේශවලදීය. එවකට ඉන්දියාවේ ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ තවලම් මගිනි. එකී තවලමකට අවම වශයෙන් කරත්ත සියයක් හෝ තිබී ඇත. දින ගණනක් ගමන් කරනා මෙම තවලම් කරුවන් හා තග් වරු කුළුපග වේ. කිසිදු අවියක් හෝ නොපෙනෙන මේ මිනිසුන් ගැන විශ්වාශයක් ගොඩනගා ගන්නා තවලම් කරුවන් , ඔවුන් සමග කරට කර වැඩ කරමින් දුර ප්‍රදේශවලට ගමන් කරනු ලබයි. මේ කාලය තුල තග්වරුන්ගේ උපක්‍රම හා කපටිකම් තුලින් ගැලේ සිටින ධනවතා හඳුනා ගනී. අනතුරුව රාත්‍රිය උදාවීමත් සමගම මුදල් හා වස්තුව පැහැරගන්නා ඔවුන් , ගැලේ සිටි බොහෝ දෙනෙකු මරා පලා යයි.

'තග්වරු' මිනීමැරීමට උපයෝගී කරගත් රෙදි කඩ හැඳින් වුයේ රුමල් ලෙසය. එය බොහෝ විට කාකි පැහැයෙන් යුතු විය. පසුම්බියේ ඉතා සියුම් ලෙස සඟවා ගන්නා මේ මාරාන්තික ලේන්සුවෙන් වසර සියයක් තුල මිනිසුන් විසි ලක්ෂයක් මැරු බව මාර්ක් ට්වේන් විසින් ලියන ලද Following The Equvator පොතේ හා රිලීෆ් ටේලර් විසින් ලියන ලද Confession Of A Thug පොතේ සඳහන් වේ.

සටහන - චූලක බණ්ඩාරවත්ත

Monday, January 4, 2016

වැසි දියෙන් සක්‍රිය වූ සීගිරියෙ වතුර මල්

video

2015 වසර අවසානයේ ජීවිතේ අමතක නොවන ගමනක් යන්න ලැබීම පුදුම සතුටක්. හතර පස් වතාවක් සීගීරි ගිහිං තිබ්බත් අනෝරා මහ වැස්සේ සීගීරි ගල තරණය කිරීම සුන්දර අත් දැකීමක්. කැමරාව තෙමෙන්නෙ නැති වෙන්න කුඩයක් ඉහලගෙන අමාරුවෙන් දැඩි උත්සාහයක් දැරුවත් ඒ වැස්සෙන් බේරනේන නම් පුළුවන් කමක් තිබ්බේ නැහැ. මට ඉදිරියෙන් හිටිය කෙනොගෙ කුඩයෙන් බේරෙන වැසි දියෙන් ඊටත්  වඩා තෙමෙන්නයි සිදු වුණේ. කොහොම හරි සියලු ආරක්ෂක විධිවිධාන දාලා බෑග් එකක් අස්සට කැමරාව ඔබා ගත්තා. 

මෙන්න අප්පේ ලෝබ හිතෙන සුන්දර දර්ශනයක්. සීගීරි ගල මුදුනේ ඉදලා වැසි දිය වෑස්සෙනවා. හරියට දිය ඇල්ලක් කඩා හැලෙනවා වගෙ. දැං ඉතිං ආයෙ කැමරාව එළියට ගන්නවා බොරු. ඒ සුන්දර දසුන ඔබ  එක්ක බෙදා ගන්න තිබ්බ අපූරු අවස්ථාව අහිමි වීම ගැන මට දැනුත් පුදුම දුකක් දැනෙන්නෙ. 

2015 දෙසැම්බර් 27 වනදා තමයි අපි මේ සුන්දර අත් දැකීම් වින්ඳෙ. උදේ 10 .30 ට විතර සීගිරිය ගල නගින්න පටන් ගත්තු අපි ගලෙන් බහිද්දි හවස 5 ත් පහු. පෝය, නත්තල් සහ සති අන්ත දිග නිවාඩුව නිසා ලංකාවේ හතර වටින්ම ඉන්න මිනිස්සු සීගිරිය බලන්න ඇවිත්. 

අපිත් ඉදලා ඉදලා ගියේ මරු දවසක. එක පඩියක් නගින්න විනාඩි 5 ක් විතර ඉන්න වුණා. ඒත් මාත් එක්ක හිටිය අපේ සෙට් එක නිසා කාලය ගෙවුණා දැනුණේ නැහැ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඉගෙන ගන්න මගෙ පන්ති සගයෝ තමයි මේ ගමනට සෙට් වුණේ. අපේ සහෝදරයෝ සෙට් එක කියපු කතා වලට හිනා වෙලාම අවසානයට ඔලුවත් පුපුරන්න කැක්කුමයි.

අවුරුදු 12 කට පස්සේ මං ආයෙත් මේ සීගිරි ගල නැග්ගෙ. දැං ඉතිං ටිකෙන් ටික වයසටත් ගිහිං නිසා අපේ පන්ති සගයන්ගෙ සහයෙන් තමයි සමහර අමාරු ස්ථාන නැග ගත්තෙ. කවුදෝ කට කැඩිච්චි පිට නඩයක එකෙක් කියනවා ඇහුණා මෙන්න බොලේ පවර් සෙට් එකක් ඇදන් යනවා කියලා. ඔන්න ඉතිං හිනා සාගරයයි. 

කොහොම හරි කට්ටක් කාලා සීගිරි ලලනාවන් බලන්න ගියා. මෙන්න බොලේ එතන ඉන්න ආරක්ෂක මහත්තයා කෑ ගහනවා නෝනා ෆොටෝ ගන්න වෙන දවසක එන්න කියලා. උදේ හිටං පුදුම කට්ටක් කෑවෙත් මේ ලලනාවෝ බලා ගන්න. අපි පුරාවිද්‍යා පශ්තාචාත් උපාධි ආයතනයේ ශිෂ්‍යෙයො කියන්නවත් අපේ ශිෂ්‍ය හැදුනුම්පත් පෙන්වන්න වත් අපි ගියෙ නැහැ. මේක ඒ මහත්තයාගෙ බූදලයනෙ කියලා හිතලා ඉවසා වදාරගෙන ආවා. හැබැයි ඒ මහත්තයාගෙ ෆොටෝ එකක් අල්ල ගන්න නම් අමතක කළේ නැහැ.

සීගිරි ලලනාවන්ගෙ සිතුවම් ඡායාරුප ගත කරගන්න ලැබුණු අන්තිම පිරිස අතරට එක්වන්න අපිටත් වාසනාව උදා වුණේ ඊට පහුවදාම සීගිරියෙ බදාම තට්ටුවක් කඩා වැටුණට පස්සේ ෆොටෝ ඇල්ලීම තහනම් කළ නිසයි. සීගිරි ලලනාවන්ගේ අාරත්ෂක මහත්තයා සද්දෙ දාද්දිත් මං ෆොටෝ අරං ඉවරයි. කැමරාව කියන්නේ මගෙ ඇගේම කොටහක් වගේ. ඉතිං ක්ෂණිකවම ෆොටෝ ගන්න පුළුවන් වෙච්චි එක වාසනාවක්. ෆ්ලෑෂ් ලයිට් ඕෆ් කරං විනයානූකූලව ෆොටෝ ගත්තත් ඒ මහත්තයාගෙ තිබ්බ ගාම්භීරත්තවයට අපිට පිටු පාන්න බැරි වුණා. මොකද ඒක ඒ මනුස්සයාගෙ හැදියාවනෙ කියලා හිතිච්චි නිසා.

ඊට පස්සේ සීගිරි කැටපත් පවුර. අප්පේ හිතේ හැටියට බලා ගත්තා. මිනිස්සු බහුතරයක් ඒ දිහා හැරිලවත් බලන්නෙ නැහැ. සීගිරි කුරුටු ගී වලට වඩා තියෙන්නෙ පසුකාලීනව කුරුටු ගෑ බලියි. ඒ අතර වාහන අංක. එක එක අයගෙ නම්. ඒ වගේම පහුගිය කාලේ මහත් ආන්දෝලනයකට ලක් වෙච්චි දෙමළ පාසල් ශිෂ්‍යාව කොණ්ඩ කට්ටෙන් කුරුටු ගෑ අකුරු 11 කින් යුත් නම. දැන් නම් ඒ ළමයා නිදහස් වී රස්සාවකුත් ලැබුණා කියලයි ආරංචිය. තව අවුරුදු සිය ගානක් ගියාම ඒවත් ඉතිං කුරුටු ගී වෙයිද දන්නෙ නැහැ.

ඔන්න කොහොමෙන් කොහොම හරි සිංහ පාදයට වෙනකල් නැග ගත්තා. අපොයි දැං නම් හරිම මහන්සියි. දවල්ට කාලත් නැහැ. ඒ මදිවට වැස්සට තෙමිලා ඇඟ තෙතම තෙතයි. සිංහ පාදෙන් නතර වෙන්න හිතුවත් පන්තියේ කොල්ලෝ ටික කොහොම හරි සීගිරි ගල මුදුනටම ඇදගෙන ගියා. මෙන්න දෙයියනෙ....මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. ළඟ ඉන්න කෙනාවත් පේන්නෙ නැහැ.ජීවිතේ ලබපු සුන්දරම අත් දැකීමක්. මේ වගේම අත් දැකීමක් ලැබුවා 2010 දි අලගල්ල කන්ද නැගපු දවසේත්.

මීදුම සැරෙන් සැරේ අතුරුදහන් වෙනවා. පුදුම ලස්සනක් පරිසරයෙ. ෆොටෝ ගන්න ආස වුණත් කැමරාව එළියට ගන්න විදියක් නැහැ. අනෝරා වැස්ස. වැස්ස ටිකක් අඩු වුණාම ෆොටෝ කිහිපයක් ගත්තා.
කොහොම හරි දැන් ඉතිං ආයෙ බහින්නත් එපැයි. නැග්ග වගෙයැ. බහින එක. 

මහ වැස්සකට පසු වැසි දියෙන් සක්‍රිය වූ සීගිරියෙ වතුර මල් දැක ගන්නත් මේ දෑස් පින් කිරීම පුදුම සතුටක්. තප්පර 32 ක් වැනි ඉතා කෙටි කාලයක වීඩියෝ ක්ලිප් එකක් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා මට හිතුනෙම නැහැ. මේ වෙද්දි ෆේස්බුක් එකේ 90 000 කට වැඩි (72,210 Views) පිරිසක් එය නරඹලා. ඉතිං මං හිතුවා අපේ බ්ලොග් අවකාශයේ ආදරණීය හිතවතුන් එක්ක මේ සොඳුරු අත් දැකීම් බෙදා ගන්න. ජීවිතේ අමතක නොවන හරි අපූරු අත් දැකීම් සමුදායක් එක්ක සතුටින් ගෙවුණු අපේ සීගිරි චාරිකාව සදා මතකයේම රැදේවි.

                                                                                                                                                                   - රුක්ෂිලා වෙත්තමුණි -



ෆේස්බුක් එකේ ලින්කුව