Wednesday, December 2, 2015

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය...



වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය නව මගකට යොමුකරමින් කුඩා දරුවෙකු මෙලොවට ජනිත විය. ගාලුස්‌ සීසර් ට හා අවුරේලියා යුවලට දාව උපත ලද ඔහු ජුලියස් සීසර් නම් විය. උපතේදී තම මවගේ උදරය කපා මෙලොවට බිහිකිරීමට සිදුවීමෙන් අනතුරුව වර්තමානය තෙක් එය නම් කර ඇත්තේද සීසේරියන් සැත්කම ලෙසය. ජුලියස් සීසර් ක්‍රිස්‌තු පූර්ව 100 වැනි වර්ෂයේ රෝමයේ, සුදුර නමැති නගරයේ උපත ලැබූ බවට අනුමාණ කෙරේ.

අද මෙන්ම එදාද බොහෝ පිරිසකගේ ජීවනෝපාය වුයේ දේශපාලනයයි. සීස්ර්ටද තම දෙමාපියන්ගෙන් ලැබුණු වත්කමක් නොවූ හෙයින් 16 හැවිරිදි වියේදීම රෝම දේශපාලනයට අවතීර්ණ විය. ක්‍රමයෙන් ග්‍රීක වහල් හිමි සමාජය තුළින් ඉස්මතු වූ සීසර්, එම පාලනයේ මුදුනටම ළඟා වුයේ රණශුර වික්‍රමයන්ගේ ප්‍රතිඵලය තුළිනි. ඔහුගේ ජීවිත කාලය තුළදී රෝම ජනතාවගෙන් බොහෝ ගරු බුහුමන් ලැබුණි. ඒ මක් නිසාද යත් පාලකයන්ගේ කුරිරු බව ඉදිරියේ වැසියන් නැගී සිටීමට වඩා වහලුන් වන නිසාය. අවනත වීම හැර කිසිදු විකල්පයක් ආඥාදායක පාලනයක් තුළදී ජනතාවට නොමැත. එයට එරෙහිව නැගී සිටින්නේ නිර්භයත්වයෙන් පිරිපුන් මිනිසුන් පමණි. එවන් මිනිසුන් ඉතිහාසයේ වීරයන් බවට පත් වේ.

පුරාණ රෝමයේ කැලැන්ඩරයට අනුව ඔහු උපත ලැබූ මාසය හැඳින්වූයේ ක්‌වින්ටිලිස්‌ ලෙසය. නමුත් එම මාසය සීසර් ගේ නම ඉතිහාස ගත වීමට ජුලි නමින් වෙනස් විය. හරියටම විදේශ බැංකුවලින් ගිනි පොලියට ණය ගෙන ඒවා ජනතාව මත බදු පිට බදු ගසා තමන්ගේ නම් ගුවන් තොටුපළවල් , වරායවල් , පාසැල් වලට දමනවා සේ එදා ජුලියස් සීසර්ලාද තමන්ගේ නාමය බැබලවීමට බොහෝ දේ කර ඇත. සීසර්ගේ පෙලපත රෝමයේ රදල පංතියට අයත් විය. එහෙත් ඔවුන් හතරවැනි ශතවර්ෂයේදී පොදු ජනතාව සමග ඒකාබද්ධ වූහ. පොදු ජනතාව බොහෝ විට පාලකයන් සමීප කරගනු ලබන්නේ ඔවුන් ඔසවා ගෙන යන දෝලා කරුවන් ලෙසය. පුරාණ රෝමයේද එය එසේම සිදු විය.
ලොව තම අනසකට නතුකොට තිබු සීසර් ගේ අවසානය සිදුවන්නේද බොහෝ ආඥාදායකයන්ට සිදු වූ පොදු සිදුවීම් මාලාවකිනි. ඔහුගේ මරණය පිළිබඳව මහා කවි විලියම්  ශේක්ස්පියර්  ලියූ ජුලියස්‌ සීසර් නාට්‍යයේ මෙසේ ලියා ඇත.

ශාස්‌ත්‍රකරු - සීසර් උතුමාණෙනි,

සීසර් - මා අමතන්නේ කවුද?

ශාස්‌ත්‍ර කාරයා - (සීසර් අමතමින්)


මාර්තු 15 වැනි දා ප්‍රවේශම් වන්න, උතුමාණනි.

බෲටස්‌ - ඔබ මාර්තු 15 වැනිදා ප්‍රවේශම් විය යුතු බව ශ්‍රාස්‌ත්‍රකරුවෙක්‌ පවසයි.

සීසර් - ඔහු මා හමුවට පමුනුවන්න. මට ඔහුගේ මුහුණ බලන්නට සලස්‌වන්න.

කැෂියස්‌ - (මිත්‍රයා, රැස්‌කකා සිටිනා) ජනයා අතරින් ඇවිත් සීසර් දෙස බලන්න. 

සීසර්- ඔබ දැන් මට මොනවද කීවෙ? එය නැවතත් කියන්න.

ශාස්‌ත්‍රකාරයා - මාර්තු 15 වැනිදා ප්‍රවේශම් වන්න උතුමාණනි. 

සීසර් - ඔහු දවල් හීන දකිමින් කාලය නිකරුණේ ගතකරන්නෙක්‌, අපි ඔහු අතහැර දමමු. ඔහු ගියාවේ.

මාර්තු 15 වැනිදා උදා විය ...

(සෙනෙට්‌ සභාව බලා යමින් සිටි සීසර් අතරමගදී හමුවූ ශාස්‌ත්‍රකරු 

අමතමින්)

සීසර් - ඇයි මට ප්‍රවේශම් වෙන්න කියා බොරු කියන්නේ? ඔබ කිවූ 


දිනයත් අද උදාවෙලා.

ශාස්‌ත්‍රකරු - උදාවුණාට තවම දවස ගතවුණේ නැහැ, උතුමාණනි.

සර්විලස්‌ කැස්‌කා විසින් දෙන ලද ඔත්තුවකට අනුව සීසර්ට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බව මාක් ඇන්ටනිට දැනගන්නට ලැබුණි. සීසර් ඝාතනය කිරීමට සුදානම් වූ පිරිසට තිබු එකම අභියෝගය වුයේ මාක් ඇන්ටනී සටනට පිවිසේ යයි යන අනියත බියයි.

 ඇන්ටනී සෙනෙට්‌ සභාවට පිවිසීම වැලක්වීම පිණිස හැඩි දැඩි ට්‍රෙබෝනියස්‌ යෙදවීමට තීරණය විය. කුමන්ත්‍රණය දියත් වුයේ සීසර් සෙනට් සභාවට පිවිස අසුන් ගැනීමෙන් පසුවය . රටින් නෙරපා සිටි තම සහෝදරයා වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ටිලුස්‌ සිම්බර් ජුලියස්, සීසර් ගේ ඉදිරියට පැමිණ ආචාර කරමින් දනින් වැටුණි . ටිලුස්‌ට සහය පිණිස සේ සෙසු කුමන්ත්‍රණ කරුවන්ද වහාම ඉදිරියට පැමිණියේය. සිම්බර් වහාම නැගිටිමින් සීසර්ගේ "ටියුනික්‌" කබාය පහතට ඇද දැමීය. එවිටම කෙටි කඩුව ඇඳගත් කැස්‌කා එය සීසර්ගේ ගෙලට එල්ල කරමින් සීසර් යටත් කරගත්තේය. බෘෘටස්‌ ඇතුළු කැස්‌කාගේ පිරිස සීසර්ට පිහි පහර 23 ක් එල්ල කල අතර , රෝමය පමණක් නොව අවට සියලු රටවල් තම ආඥාදායක බලයෙන් යටපත් කර සිටි මිනිසෙකු කිසිවෙකුගේ පිහිටක් නොමැතිව ලේ විලක් මත මැරී වැටුණි.


ඉන් පසුව බෲටස්‌ ඔහුගේ අනුගාමිකයන්ද පිරිවරාගෙන අගනුවර දෙසම ගමන් ආරම්භ කොට "රෝම වැසියෙනි, අපි නැවතත් නිදහස්‌ ජනතාවක්‌" යනුවෙන් ඝෝෂා කරන්නට විය. නිවස තුළට වී එතෙක්‌ කල්ගත කළ ජනතාව මෙම ඝෝෂාව කුමක්‌දැයි විපරම් කළ විට සීසර් ඝාතනය කිරීමේ ප්‍රවෘත්තිය ලැව් ගින්නක්‌ සේ පැතිර ගියේය.

සීසර්ගේ භූමදාන අවස්‌ථාවේදී රැස්‌ව සිටි රෝම ජනතාව අමතා කතා කළ ප්‍රථම කථිකයාගේ කථාව එහි සිටි සියලුම දෙනාගේ හදවත් සසල කිරීමෙහි සමත්විය.

එම කථිකයා නම් සීසර්ගේ සමකාලීන සෙනෙට්‌ මන්ත්‍රීවරයකු වූ මාර්ක්‌ ඇන්ටනිය. මා මෙහි පැමිණියේ සීසර් වළ දැමීමට මිස ඔහු ගැන ප්‍රශංසා කිරීමට නොවේ. එහෙත් අප විසින් කරනු ලබන වැරැදි ක්‍රියා අප සමග වැළලී යන අතර අපගෙන් සිදුවන යහපත් ක්‍රියා සදාකාලිකවම පවතින්නේ යෑයිද එය අප හැම දෙනා විසින්ම ඉතා හොඳින් සිත්හි තබාගත යුතුව ඇතැයිද යනුවෙන් ඔහු දීර්ඝ කතාවක්‌ කළේය. 


මාක්‌ ඇන්ටනීගේ මෙම කතා විලාශය කථිකයන් පුහුණු කිරීමේ විෂය මාලාවේදී දැනටද ප්‍රයෝජනයට ගනු ලැබේ.

සටහන
- චූලක බණ්ඩාරවත්ත - 
(චූලක අයියගෙ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තෙ....)

6 comments: