Tuesday, April 1, 2014

අහසින් අතුරුදහන් වුවද ඉතිහාසයෙන් අතුරුදහන් නොවුණු ගුවන් යානා.............

   ‘ඇමෙලියා ඉයර්හාර්ට්යනු ඇමරිකානු කාන්තා ගුවන් නියමුවරියකි. ඇය ගුවන් යානයකින් ලොව වටා සැරිසරද්දී එය හිටිහැටියේ අතුරුදන් වූයේ වර්ෂ 1937 ජූලි 2 වැනිදාය. 
අත්ලාන්තික් සාගරය හරහා තනිව ගුවන් යානයක් ප්‍රථමවරට පදවාගෙන ගිය කාන්තාව වන්නේද ඇයය. පැසිෆික් සාගරය මධ්‍යයේ හෝල්න්ඩ් දූපත් ප්‍රදේශයේ මෙම යානය හිටිහැටියේ අතුරුදන්විය. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මෙහි ඉන්ධන අවසන් වී මුහුදට කඩා වැටෙන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ ඇමෙලියා ඇමරිකානු ජනපතිවරයකු වූ ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් වෙනුවෙන් ඔත්තු බැලීමෙහි නිරත වූ බැවින් ජපනුන් විසින් අල්ලා ගන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ යානය ජපාන දූපතකට කඩා වැටී ඇමේලියා එහිදී මිය යන්නට ඇති බවය. 


ඇය මෙම අනතුරින් ජීවිතය ගලවාගත් බවත් පසුව නිව්ජර්සියට ගොස්  නම වෙනස්කොට රහසේ ජීවත් වූ බවට අදහසක්ද ඇති අතර පිටසක්වලයන් විසින් පැහැරගත් බවටත් ඇතැමෙක් අදහස් දක්වති.

                         ග්ලෙන් මිලර්                     
       ග්ලෙන් මිලර් යනු දෙවැනි ලෝක යුද සමයේ මිත්‍ර හමුදා වෙනුවෙන් සටන් වැදුණු අති දක්ෂ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් හමුදාවට අයත් නියමුවෙකි. ඔහු මෙලොව ජීවත්ව සිටි අවසන් රාත්‍රිය ලෙස සටහන් වන්නේ 1944 දෙසැම්බර් 14 වැනිදාය. 
ඒ බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆෝර්ඩ්වලට අයත් මිල්ටන් අර්නස්ට් හිදීය. පසුදා ඔහුට ප්‍රංශය බලා පියාසර කරන්නට නියමිතව තිබිණි. ඔහු ඇතුළු පිරිස රැගත් යානය ආර්.ඒ.එෆ්. ටින්වුඩ් ගොවිපළ භූමියෙන් පිටත්ව ගිය අතර ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී එය අතුරුදන්  විය.

ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී අතුරුදන් වූ ග්ලෙන් මිලර්ගේ යානය

        අතුරුදන් වීම පිළිබඳ ඉදිරිපත් වූ එක් මතයක් වූයේ තනි එංජිමක් සහිත මෙම යානයේ ඇති වූ ගින්නක් නිසා කඩා වැටෙන්නට ඇති බවය. ජර්මනියට අයත් පුවත්පතකින් පැවැසුණේ ඔහු ප්‍රංශයට ගිය බවත් එහි ගණිකා නිවාසයකදී හෘදයාබාධයකින් මියගිය  බැවින් එම සිදුවීම බ්‍රිතාන්‍ය වසන් කරන බවත්ය.



බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස උපත ලබමින් අතුරුදන් වූ ගුවන් යානා

        1945 දෙසැම්බර් 5 වැනිදා වර්තමාන බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් වූ අහසේදී ගුවන්යානා හයක් හිටිහැටියේ අතුරුදන් විය. බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස් කතන්දරයද ඒ සමගම උපත ලැබුවේය. දක්ෂ පළපුරුදු ගුවන් නියමුවකු වූ චාර්ල්ස් ටේලර්ගේ මූලිකත්වයෙන් පුහුණු වීමේ ගුවන් සැරියක් සඳහා මෙම යානා හය ෆ්ලොරිඩාවේ ෆෝර්ට් ලෝර්ඩඩේල් වෙතින් අහසට නැගුණි. පැය එකහමාරකට පමණ පසු  නියමුවන් වාර්තා කළේ තම ගමන් මාර්ගය හිටිහැටියේ වෙනස් වූ බවත් පහළින් ඇති කිසිදු භූමි ලක්ෂණයක් හඳුනාගන්නට හැකියාවක් නොමැති බවත්ය. ටේලර් වැඩිදුරටත් පවසා තිබුණේ තම මාලිමා යන්ත්‍රය නිවැරැදිව ක්‍රියා නොකරන බවය. ගුවන් යානා මෙහෙයුම් කුටියේ කාර්ය මණ්ඩලය කොතෙක් උත්සහ ගත්ද මෙම යානා පිහිටි ඛණ්ඩාංකයන් සොයා ගන්නට හැකියාවක් ලැබුණේ නැත. කාලගුණයද අයහපත් වූ අතර යානා සියල්ලම මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කෙරිණි.

        තවත් කනගාටුදායක සිදුවීමක් වන්නේ මෙම යානා අතුරුදන් වීම පිළිබඳ සොයා බලන්නට පිටත්ව ගිය යානයද අතුරුදන් වීමය. එම යානය රාත්‍රී 7.30ට පිටත්ව ගොස් තිබූ අතර නැවත එයින් කිසිදු පණිවුඩයක් ලැබුණේ නැත. එහි සිටි 13 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලයද මියගිය බවට සැක කෙරේ.

 

ස්ටාර් ඩස්ට් යානය සහ අභිරහස් මෝර්ස් කේත

        ලැන්කැස්ටර් වර්ගයේ බෝම්බ හෙළීමේ යානා මාදිලියට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයක් වූ බි.එස්.ඒ.ඒ. ස්ටාර් ඩස්ට්ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් සිට චීලියේ සන්තියාගෝ බලා පියාසර කරමින්  තිබියදී අතුරුදන් විය. එම අතුරුදන්වීමත් සමග අභිරහස් රැසක් ලොව හමුවේ ඉතිරි විය.
මෙම ගුවන් යානය අයත්ව තිබුණේ බ්‍රිටිස් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමට වූ අතර එහි පැදවූයේ පළපුරුදු ගුවන් හමුදා නියමුවකු වූ රෙජිනෝල්ට් කුක්ය.
        ඔහු 1947 අගෝස්තු 2 වැනිදා ප.ව. 1.46ට බුවනෝර්ස් අයර්ස් කෙරෙන් පිටත්ව අන්දීස් කඳු මතින් යානය ධාවනය කොට ඇත.
        යානය ගමනාන්තයට ළඟා නොවූ මුත් එය අතුරුදන් වන්නට පෙර එහි සිටි ගුවන් විදුලි සංඥා මෙහෙයවන්නා මෝර්ස් කේතයකින් පණිවුඩයක් එවා තිබිණි. ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න සහ මෙම මෝර්ස් සංඥාවෙහි අරුත පිළිබඳ වසර ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයෝ විවිධ මත ඉදිරිපත් කළහ.
        ඇතැමෙකු පැවැසුවේ එය පිටසක්වල යානයක ප්‍රහාරයකට ලක් වූ බවය. එහි ගමන්ගත් මගියකු සතුව තිබූ  රාජ්‍ය තාන්ත්‍රික ලියකියැවිලි විනාශ කිරීමේ අරමුණින් යමෙකු විසින් මෙය පුපුරුවා හැරී බවටද මතයක් ද පළවිය.
වඩාත් පිළිගත හැකි මතයක් වූයේ මෙම යානය අත්වැරදීමකින් සිරස් හිම ක්‍ෂේත්‍රයක් අසලින් ගමන් කරද්දී ඇති වූ හිම නායයාමකට අසුව කඩා වැටී මුළු යානයම හිමෙන් වැසී යන්නට ඇති බවය.

        වසර 5ක් ගත වන තුරු ද ස්ටාර් ඩස්ට් යානය සොයාගත නොහැකි විය. අවසානයේ එය සොයා ගනුලැබුයේ කඳු තරණය කළ ආර්ජන්ටිනානුවන් දෙදෙනකු විසිනි. ඔවුනට මෙහි ඇංජිමේ කොටස් සහ රෙදි කැබලි කිහිපයක් සොයා ගන්නට හැකිවිය.




බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදන් වූ ස්ටාර් ටයිගර්

        ඇසෝරස් හි සැන්ටා මාරියාවල සිට බර්මියුඩාව දක්වා ගමන් ගත්
බ්‍රිටිෂ් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමට අයත් ස්ටාර් ටයිගර්යානය 1948 ජනවාරි 30 වැනිදා හදිසියේම අතුරුදන් විය. මෙම යානය ගුවනට නංවන ලද්දේ අධික සුළං සහිත අවස්ථාවක වන අතර එහි මගීහු 25 දෙනෙකු සිටියහ. ඔවුන් අතර දෙවැනි ලෝක යුද සමයේ යුධ වීරයකු වූ එයාර් මාර්ෂල් ශ්‍රීමත් ආතර් කොනින්ග්හැම්ද සිටියේය. අධික සුළඟ හේතුවෙන් යානය ගමන් කළේ බොහෝ පහළිනි. අයහපත් කාලගුණය නිසා මෙම මගී යානය සඳහා මග පෙන්වීමට ලැන්කැස්ට්‍රියානු යානයක්ද ඉදිරියෙන් ගමන් කළේය.
යානය හදිසියේම මාර්ගයෙන් ඉවතට ගිය අතර බර්මියුඩාව අසලදී කුණාටුවකට මැදිවිය.
එහි යහමින් ඉන්ධනද තිබිණි. අලුයම 4න් පසු මග පෙන්වන යානය සුරක්ෂිතව ගමනාන්තයට පැමිණයද ස්ටාර් ටයිගර් යානය පැමිණියේ නැත.
මෙහිදී පළ වූ අදහසක් වූයේ මෙය බොහෝ පහළිින් ගමන් කළ බැවින් ප්‍රබල කුණාටුවකට හසුව මෙය මුහුදට ගසාගෙන යන්නට ඇති බවය. එසේත් නැත්නම් උන්නතාංශමානයේ වැරදි සටහන් හේතුවෙන් මෙය සාගරය මතට ධාවනය කරන්නට ඇති බවය.



ෆ්ලයිට් 191 යානාවල අබිරහස

        එක්තරා අංකයක් නිසා යම් අනතුරක් වූයේ යැයි පැවැසුවහොත් එය ඇතැම් විට යමෙකු විහිළුවකට ගනු ඇත. නමුත් ඒ අංකය නිසා අනතුරු කිහිපයක්ම සිදු වූයේ නම් එහි යම්කිසි දෙයක් තිබිය හැකිය. මේ එවැනි කතාවකි.
ඇමෙරිකානු ගුවන් ගමන් ඉතිහාසයේ බිහිසුණුතම අනතුර වාර්තා වන්නේ 1979 වසරෙනි. ඒ ෆ්ලයිට් 191 යානයේ අනතුරයි. එය චිකාගෝ හි ඕ හෙයාර් ගුවන් තොටුපළෙන් අහසට නංවා මිනිත්තු කිහිපයක් ඇතුළත  එහි සිටි මගීන් 258 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනාගේ ජීවිත බිලිි ගනිමින් අනතුරට ලක්විය.

        ෆ්ලයිට් 191 වර්ගයේ තවත් ගුවන් යානයක අනතුරක් වාර්තා වන්නේ 1967 වසරෙනි. එක්ස් - 15 ලෙස නම් කොට තිබූ එය අත්හදා බැලීමේ ධාවනයකදී අනතුරකට ලක්විය. එහිදී ගුවන් නියමුවා මියගියේය. අනතුරුව 2012 වසරේදී ජෙට් බ්ලූ එයාර්වේස් සේවයට අයත් ෆ්ලයිට් 191ක යානයක නියමුවෙක් ගුවන් ගමන අතරතුර උමතුවෙන් මෙන්  හැසිරී මගියකුගේ පහරකෑමට ලක් වූ බැවින් යානයේ ගමන අතරමගදී නවත්වන්නට සිදු වී හදිසි ගොඩබෑමකට ලක්විය.
        ෆ්ලයිට් 191 යානා සම්බන්ධව මෙබඳු අබිරහස් බොහෝ පවතී

ස්ටාර් ඒරියල් යානය අතුරුදන් වීමේ අබිරහස

බ්‍රිටිෂ් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමට අයත් ස්ටාර් ඒරියල්යානය බර්මියුඩාවේ සිට ජැමෙයිකාව කරා ගමන් කරමින් තිබියදී 1949  ජනවාරි 17 වැනිදා අතුරුදන් විය.
මෙයද කලින් සඳහන් කළ ස්ටාර් ටයිගර්යානය මෙන් ගුවන්ගත වුයේ පැහැදිලි අහස්තලයක් පවතින විටය. නමුත් ගමන්ගත් මොහොතේ සිට සන්නිවේදන ගැටලුවලට ලක්විය.
මෙය ගමනාන්තයට ළඟා නොවූ අතර එහි සිටි මගීන් 25 දෙනා සහ කාර්ය මණ්ඩලය සෙවීමේ මෙහෙයුමක් දියත් කළ අතර ජනවාරි 25 වැනිදා එම මෙහෙයුම අතහැර දමනු ලැබිණි.
මෙම විමර්ශනයේ නිගමනය වූයේ අනතුරට හේතුව නොදන්නා බවය.  එසේ වුවද බ්‍රිටිෂ් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ ඩොන් බෙනට් පැවැසුවේ ස්ටාර් ටයිගර්සහ ස්ටාර් ඒරියල්යානා දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ කඩාකප්පල්කරුවකුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල ලෙස විනාශ වූ බවය.
ඔහු තවදුරටත්  පවසා සිටියේ   එවකට සිටි අගමැති ක්ලෙමන්ට් ඇට්ලි මෙම යානා පිළිබඳ විමර්ශන නවතා දමන ලෙස පෞද්ගලිකවම විධාන දුන් බවය.

ෆ්ලයිට් 571 - අන්දීස් අනතුර

        උරුගුවේ රාජ්‍යයට අයත් ගුවන් හමුදා යානයකින් 45 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් ප්‍රවාහනය කරමින් තිබිණි. මෙම පිරිස අතර මොන්ටිවීඩියෝවට අයත් රග්බි කණ්ඩායමක්ද සිටියහ. මෙම යානය අයහපත් කාලගුණය නිසා අන්දීස් කඳු අතර අනතුරට ලක්විය.
        මෙහිදී යානයේ ගමන්ගත් මගීන් 45 දෙනාගෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඉන්පසුව ගත වූ දින කිහිපයේදී තවත් 6 දෙනෙකු මිය ගියේය. තවත් දින කිහිපයක් ඇතුළත සිදු වූ හිම නාය යාමක් නිසා යානයේ සුන්බුන් අතර රැකවරණයෙහි සිටි 8 දෙනෙකු මරු මුවට පත්විය. ඉතිරි 16 දෙනා කුසගිනි නිවා ගනිමින් ජීවිත ආරක්ෂා කරගනු වස් මියගිය මගීන්ගේ මාංශ අනුභව කළහ.


අනතුරින් දින 72ක් ගෙවී යන තුරු මොවුන්ව සොයාගත නොහැකි විය. මගීන් දෙදෙනකු දින දහයක් තිස්සේ කඳු ශිඛර මැදින් උදව් සොයා ගමන් කළහ. අවසානයේ ඔවුන්ට චිලී ජාතික වෙළෙන්දකු හමුවිය. ඔහු මොවුන්ට ආහාර  දී බලධාරීන්ට මේ බව දන්වා යැවීය.

මෙම සිදුවීම අනුස්මරණය කරමින් 1993 දී එලයිව් නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කෙරිණි.


ඊජිප්තු එයාර් ෆ්ලයිට් 990 අනතුර

 ඊජිප්තුවට අයත් එයාර් ෆ්ලයිට් 990’ අනතුර වටා අබිරහස් සිදුවීම් කිහිපයක්ම පවතී. එය 1999 ඔක්තෝබර් 31 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළින් කයිරෝ බලා ගමන් ඇරඹීය.

බෝයිං 767 යානයක් වූ මෙය මැසචුසෙට්ස් ප්‍රාන්තයට දකුණින් අත්ලාන්තික් සාගරයේදී මගීන් 217 දෙදෙනා සහ කාර්ය මණ්ඩලය සමග අනතුරට ලක්විය.
මෙහි සහය නියමුවා වූ ගැමියෙල් එල් - බටොවුටි එම යානයේම ගුවන් සේවිකාවක සමග ලිංගික ඇසුරක් පැවැත්වීම නිසා දැඩි අවවාදයකට ලක් වීමක් මෙම ගමන ආරම්භයට ආසන්න අවස්ථාවක සිදුවිය.

ගුවන් සේවයේ නියමු කණ්ඩායමේ ප්‍රධානී හාතෙම් රුෂ්ඩි, එල් - බටොවුටි ට පැවැසුවේ මේක ඔහේගේ අන්තිම ගුවන් ගමන කියාය. එයට පිළිතුර ලෙස එල්- බටොවුටි පැවැසුයේ ඔහේගේ අන්තිම ගුවන් ගමනත් මේක තමයියනුවෙනි.
 පසුව ප්‍රධාන නියමුවා නාන කාමරයට යාම පිණිස සිය අසුනින් ඉවත්වුණු අතර එල් - බටොවුටි සෙමින් මම දෙවියන් ගැන විශ්වාසය තබමි. යනුවෙන් පවසනු පටිගත කිරීමේ යන්ත්‍රයේ සටහන් වී තිබිණි. ඔහු එසේ පවසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලියෙහි පැවැති යානය ඉන් මුදා එය සයුර දෙසට ධාවනය වන්නට සලස්වා ඇත.

ගුවන් යානය පහළට ගමන් කරන අතරේ කිහිප වතාවක්ම ඔහු මෙය පවසා ඇත. ප්‍රධාන නියමුවා යළි නියමු කුටියට පැමිණියද යානය මහ සයුරට ඇද වැටීමෙන් වළක්වා ගන්නට ඔහුට හැකියාවක් ලැබි  නැත.
එක්සත් ජනපද ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය නිගමනය කළේ මෙම අනතුර එල් - බටොවුටිගේ ක්‍රියාව නිසා සිදු වූවක් බවය.

ප්‍රංශයට අයත් ෆ්ලයිට් 447 අනතුර


 2009 වර්ෂයේදී බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ සිට පැරීසිය දක්වා මගීන් 288ක් ද රැගෙන ගමන් කරමින් තිබු මෙම ගුවන් යානය අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී අතුරුදන් විය.

  මේ අතුරුදන්වීම පිළිබඳ කළ විමර්ශනයේ අවසන් වාර්තාවේ සඳහන් වූයේ යානයේ නල තුළ අයිස් කැට සිරවීම නිසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලිය බිඳ වැටී මෙය අනතුරට ලක් වූ බවය.

        මෙහි කාර්ය මණ්ඩලය වරද නිවැරැදි කර ගන්නට උත්සාහ දරා ඇති අතර එය ව්‍යර්ථවීමේ ප්‍රතිඵලයක් ලෙස යානය මුහුදට කඩා වැටී තිබේ. අනතුරින් පසුව ගෙවුණු මාස කිහිපයේදී මළ සිරුරු 50ක් සොයා ගන්නට හැකිවිය. තවත් මළ සිරුරු 104ක් සමග මෙම යානයට අයත් කළු පෙට්ටිය 2011 මැයි මාසයේදී සොයා ගන්නට හැකිවිය. මගීන් 74 දෙනෙකුගේ මළ සිරුරු මෙතෙක් හමු වී නැත.

* *උපුටා ගන්නා ලද්දකි...............(සමුදුර)