Thursday, May 22, 2014

- පුනරාගමනය -



          දින ගණනාවකින් ඉදලක පහස නොලැබූ මිදුල මිදුල අඹ කොළ, බෙලි කොළ වලින් වසාගෙනය. සුදු වැලි තලාවේ කොහේ හෝ තැනක තාත්තාගේ අඩි සලකුණක් තිබේදැයි දකින්නට පාලිත උත්සාහ කළ මුත් ගෙයි පිළිකන්නේ හිඳ ගත්තේ එය අසාර්ථක වෑයමක් බව  දැනුණි හෙයිනි. ඈලි මෑලි ගතියෙන් යුතුව මිදුල අමදින සඳමාලි විටින් විට හීල්ලුවාය. බිසෝමැණිකා සුසුම් ලෑවේ දරුවන් පස් දෙනෙකුගේ බර තනිවම දරාගන්නේ කෙසේ දැයි සිතමිනි. තාත්තාගේ මරණයෙන් දෙසතියක් ගත වී තිබුණත් දරුවන් සිටියේ බලාගත් අතම බලාගෙනය.

          දරුවන්ගේ තාත්තා ජීවත්ව සිටිද්දීත්, බිසෝමැණිකා සුළු මුදලක් සොයා ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දීමෙනි. එහෙත් දැන් ඒ මුදල පවුලේ නඩත්තුවට කෙසේවත් ප්‍රමාණවත් වන්නේ නැත.

          ලොකු පුතේ, හන්දියේ කඩ දෙක තුනකින් අහගෙන වරෙන්කෝ ඉදිආප්ප ඕනෙද කියලා.නැත්නම් අපිට ඔලුව උස්සන්න වෙන්නෙ නැහැ. දවසින් දවස බඩුවල ගණන් නගින්නේ හරියට මූදේ රළ ගහනවා වගේනෙ 

          පාලිත ඉගෙනීමට දක්ෂ වූවත් වැඩිදුර අධ්‍යාපනයට මුල නොපිරුවේ ගෙදර අඟහිඟකමින් වෙළාගත් හෙයිනි. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ ඔහු කුමන හෝ රැකියාවක් කිරීමට නිතර උත්සාහ කළේය. පාලිත පත්තර බැලීමට දිනපතාම  හේරත් මුදලාලිගේ කඩයට ගියේ පොත් පත් කියවීමට බොහෝ සේ ඇලුම් ළ බැවිණි. පත්තරේ පළ වන රැකියා පිළිබඳ දැන්වීම් තීරය දිනපතා ඔහුගේ අවධානයට ලක් වූයේ තාත්තාගේ අකල් මරණයත් සමඟ රැකියාවක අවශ්‍යතාවය තදින්ම දැනුණ නිසාය.

          පත්තරේ දැන්වීම් තීරයේ ගිලී සිටි පාලිතට ඉමහත් සතුටක් දැනුණේ ඇඟලුම්කම්හලක ලිපිකාර තනතුරක් සඳහා වූ දැන්වීම දැකීමෙනි. හේරත් මුදලාලිගෙන් පෑනක් සහ කොළයක් ඉල්ලා ගත් ඔහු කඩයේදීම අයදුම් පතක් සකස් කොට හන්දියට ගොස් එය තැපැල් කළේ බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙනය. මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ රැකියා සඳහා අයදුම් කළද ඒ කිසිවකගෙන් ආරංචියක්වත් නොවූවත් ඔහු මේ සඳහා උනන්දුවෙන් අයදුම් කළේ ඉල්ලා තිබුණාටත් වඩා සුදුසුකම් ඔහුට තිබුණු බැවිණි.  

          පාලිත කඩ කිහිපයකින්ම අම්මා කී පණිවිඩය පිළිබඳව විපරම් කළත් ඉන් ඵලක් නොවූයේ ඒ වන විටත් හන්දියේ කඩ සියල්ලම වෙනත් සැපයුම් කරුවන් විසින් ගිල ගෙන තිබූ නිසාය.
          රැකියාවක් ලැබෙන තෙක් කුලියක් මලියක් කිරීමට පාලිත උත්සාහ කළත්,ගමේ එවැනි වාතාවරණයකට අවස්ථාවන් දුලබ වූයේ  ඉතා සරල ජීවන රටාවකට හුරු වූ ගම් වැසියෝ ස්වයං පෝෂිත ආර්ථික රටාවකින් දිවි ගෙවූ බැවිණි. එකිනෙකාගේ සහායෙන් තිබෙන වැඩක් පලක් සාමූහිකව කිරීම ඔවුන්ගේ පුරුද්දය.

          පාලිතගේ ලොකු නංගී සඳමාලි, තාත්තාගේ මරණයෙන් මාසයක් ඉක්ම යන්නට පෙර වැඩිවියට පත් වූයේ  වයස දොළහ සම්පූර්ණ වීමත් සමඟය.ලොකු අයියා මෙන් ඇයද ඉගෙනීමට ඉතා දක්ෂය. වාරාවසාන විභාගයෙන් සඳමාලි පන්තියේ පළවෙනියා වූයේ සියලුම විෂයයන් වලට වැඩිම ලකුණු ලබා ගනිමිනි.

          තාත්තා ජීවත්ව සිටිද්දි මසා දුන් සුදු ගවුම දිනෙන් දින වැඩෙන ඇගේ සිරුරට හිර වැඩිය. ඒත් ඈ කිසි දිනක ඒ පිළිබඳව මැසිවිලි නොකීවාය. සැතපුම් හතරක දුරක් ගෙවා පාසලට ඇවිද යෑමෙන් සඳමාලිගේ සෙරෙප්පු කුට්ටම ද පොත්තටම ගෙවී ගොස්ය. සියලුම විෂයයන් වලට වෙන් වෙන්ව අභ්‍යාස පොත් නොතිබුණ බැවින් කිහිප වර ගුරුවරුන්ගේ වේවැල් පහර කෑමට ඇයට සිදුවූයේ එකම පොත විෂයයන් කිහිපයකටම වෙන් කොට ගෙන තිබූ හෙයිනි.

          පාලිතට, ගුණදාස අමරසේකරගේ අපටත් දවසක ඉර පායාදෝ කියන කෙටි කතාවේ එන සිරියාවතීව සිහිපත් වූයේ තමන්ගේ නංගීද දිනක් අම්මාගෙන් චිත්‍ර තරඟයට යාමට පාට කූරු පෙට්ටියක් ඉල්ලු දිනයේදීය. ඇය කිසි දිනක අම්මාගෙන් කිසිවක් නොඉල්ලූවත් පාට පෙට්ටියක් ඉල්ලුවේ චිත්‍ර වලට ඇයට තිබූ උපන් හපන්කම නිසාමය. පාසලේ කණිෂ්ඨ අංශයෙන් පළවෙනියා වී පළාත් තරඟයට  සඳමාලි තේරී තිබීම පාසලේ ගෞරවයටද හේතු විය.
          රස්සාවක් ලැබුණු දවසක මුල්ම පඩියෙන් ඇයට සුදු ගවුම් දෙකක් මසා දීමට පාලිත සිතා ගත්තත් එය සඳමාලි සමඟ නොකීවේ රස්සාවක සේයාවක් තවම දක්නට නොතිබූ බැවිනි. පවුලක තාත්තා මිය ගිය විට එහි ලොකුම බර දැනෙන්නේ වැඩිමහල් සහෝදරයාට හෝ සහෝදරියට නොවේ දැයි පාලිතට නිතරම මතක් වූයේ පවුලේ අඟහිඟකම් දිනෙන් දින වැඩි වන විටය.

          දරුවන් පස් දෙනෙකු ජීවත් කරවන්න අම්මා විඳින දුක් කන්දරාව දකින පාලිතට නිතරම දැනුණේ මහත් වේදනාවකි. බිසෝමැණිකා තම්බන ඉදි ආප්ප වලින් කොටසකින් දරුවන්ගේ කුසගින්න නිවන්නට ද සිදු වූ නිසා සිතූ තරම් ලාභයක් උපයා ගන්නට නොහැකි විය. ඇයගේ ගත දිනෙන් දින වැහැරී යන්නට පටන් ගත්තේ දරාගන්නට සිදු වූ දුක් කන්දරාව හේතුවෙන්  වයසට වඩා දෙතුන් ගුණයක තලතුනා පෙනුමක් එක් කරමිනි.

          ඕපාදූප සේවීමට මහත් සේ රුචිකළ හේරත් මුදලාලි, කඩයට අල්ලපු ඉඩමේ ගේ කෑල්ලේ දින කිහිපයකට පෙර අලුතින් පදිංචියට පැමිණි අඹු සැමි යුවල පිළිබඳ විමසිල්ලෙන් පසුවූයේ වඩාත් සැලකිල්ලෙනි. සතියක් හමාරක් ගත වෙද්දී දේවාල කුටියක් අටවා ගෙන මළවුන් ගෙන්වා ඔවුන් සාස්තර කියන්නට පටන් ගත්තේ ගම්මුන් පුදුම කරමින්ය. අදෘශ්‍යමාන දෙවි දේවතාවුන්ට පුද සත්තාර කරමින් කල් ගෙවූ ගැමි කාන්තාවන් කිහිප දෙනෙකු සාස්තර අසා කිරි ගහට ඇන්නා වගේයැයි කළ කී දැයින් කාගෙත් සිත් කුතුහලයෙන් යුතුවිය.

          දිනෙන් දින වැඩිවන සාස්තර අසන්නට එන්නවුන් නිසා හේරත් මුදලාලිගේ කඩයටද වාසි වැඩිවිය. මේ හේතුවෙන් වෙනදාට වැඩියෙන් ඉදිආප්ප දෙතුන් සීයයක් තැම්බීමට සිදුවීමෙන් බිසෝමැණිකාගේ ද අතමිට සරුවිය. දින කිහිපයකින් පසු ඇයට ඉදිආප්ප වලට අමතරව ලැවරිය සහ පිට්ටු තැම්බීමට ද හේරත් මුදලාලිගෙන් ඇනවුමක් ලැබුණි. බිසෝමැණිකාගේ දෙවෙනි පුතා වූ උපුල් පාසලට යන විට මුදලාලිගේ කඩයට කඩයප්පම් දමා ආපසු දහවලේ ගනු දෙනු බේරාගෙන පැමිණීම ඇයට මහත් පහසුක් විය.

          අවසන් වරට අයදුම් කළ ඇඟලුම්කම්හලේ රැකියාවට තමා තේරී ඇති බව සඳහන් ලිපිය පාලිත කියවූයේ  රැකියා කිහිපයකට අයදුම් කළත් කෙදිනකවත් පිළිතුරු ලිපියක් නොලැබුණු නිසා ඇති වූ විශ්මයෙනි.

          පුතේ, අද හවසට පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට වැඳලා කාරණේ කියලා වරෙං. උන්නාස්සෙ බොහෝම සතුටු වෙයි. උඹව මහන කරගන්න කැමැත්තෙන් හිටියේ. ඒත් මං හිතන් හිටියේ උඹට හොඳට උගන්නලා ලොකු මහත්තයෙක් කරන්න. තාත්තගෙ හදිසි මරණෙන් ඒ හීන ඔක්කෝම බොඳ වුණා මයෙ පුතේ. හ්ම්......ඒකට කාරි නැහැ. උඹේ වාසනාව. ඒකයි කොළඹ රටේ රස්සාවක් ලැබුණේ.

          සන්ධ්‍යා භාගයේ ගම ඉස්මත්තේ වැව, ඉර මල ගිල ගන්නා විට මැවෙන අපූරු සිතුවම බලන්න පාලිත කවදත් ඉතා ආසා කළේය. අද ඒ සුන්දරත්වය දකින අන්තිම දවස බව දැනුණු විට ඔහුගේ දෙකොපුල් තෙමමින් දෙනෙතින් කඳුළු ගැලූයේ ඔහු නොදැනුවත්මය. ජීවිතේ එක් වරක් පමණක් කොළඹ ගොස් තිබූ පාලිතට එහි දිවි ගෙවන්නට සිදුවීම භාග්‍යයක්ද අභාග්‍යයක්ද යන්න නිශ්චිතව සිතාගත නොහැකි විය.

          අම්මාගේ දෙපා වැඳ හිමිදිරියේම පාලිත කොළඹ බලා පිටත් වූයේ ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුතා දුන් සපත්තු ජෝඩුවත් ඇඳුමත් ඇඳ පැළඳ ගෙනය. කඩුල්ලෙන් පැන නියර දිගේ ඈතට ඇදෙන ලොකු පුතුගේ රූපය නොපෙනී යන තෙක්ම බිසෝමැණිකා බලා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගනිමිනි.

          දේවාලය දිනෙන් දින මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන්නට පටන් ගත්තේ කපුවා නොයෙක් දෑ බලා සිටියා සේ කියන්න පටන්ගත් බැවිණි. බිසෝමැණිකාගේ සිවු හැවිරිදි බාල පුතු හැර ඉතිරි තිදෙනා දේවාලයේ අත් උදව්වට ගියේ පාසල් නිවාඩු කාලය වූ නිසාය. ඔවුන්ට පැවරී තිබු රාජකාරිය වූයේ සාස්තර ඇසීමට පැමිණෙන මිනිසුන්ගේ කතා බස් අසාගෙන සිට සාස්තර කියන ගැහැනියට පැවසීමය.

          පහළොස් හැවිරිදි වියෙහි පසු වූ උපුල් එම රාජකාරිය සඳහා ගජ හපනා විය. දේවාලේ ගැහැනිය දවසේ වැඩ අවසන් කොට කීයක් හෝ අතේ ගුලිකළේ ඔවුන් තිදෙනා සන්තෝෂ කිරීමටය. බිසෝමැණිකා දරුවන් දේවාලයට යනවාට අකමැති නොවූයේ දෙවියන්ට ලැබෙන පූජා වට්ටි වලින් උන්ගේ කුස පිරෙන නිසාය. ඉතුරු පහදු වෙච්ච පලතුරක්, කැවිල්ලක් අම්මාටත් මල්ලීටත් ගෙන එන්න සඳමාලි අමතක නොකළාය.

          දේවාලයෙන් ලැබෙන මුදල දවසින් දවස ඉහළ යාමෙන් සඳමාලිගේ සුදු ගවුමක් මසා ගැනීමේ සිහිනය ද සැබෑවිය. ඇය එම මුදල් කුස්සියේ පරණ ටින් කබලක් අස්සේ සැඟවූවේ පොඩි අයියා හොරකම් කරතැයි යන බියෙනි. දේවාලයේ වැඩ රාජකාරි කිහිපයක් කළ නිසා උපුල්ට ලැබුණු මුදලේ ප්‍රමාණය වැඩි වූවත් ඔහු ඒවා නාස්ති කළේ ඉන් නිසි ප්‍රයෝජනයක් නොගෙනය.

          ලොකු පුතා කොළඹ රැකියාවට ගොස් දෙසතියක් ගත වූවත් ලියුමක් නොඑවීම පිළිබඳ බිසෝමැණිකා සිටියේ කනස්සල්ලෙනි. දේවාලයට පින් සිද්ධ වෙන්න පොඩි එවුන්ගේ බඩ ගින්දර නිවීමෙන් ඇය සැනසුණාය. ගෙදරට අවශ්‍ය හාල් තුන පහ ඇය මිලදී ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දී ලැබුණු මුදලෙනි.

          අම්මේ...... අම්මේ මෙන්න ලොකු අයියාගෙන් ලියුමක්

          ඒ බිසෝමැණිකාගේ නව හැවිරිදි දෙටු දියණිය වූ නිර්මලීගේ හඬය. ඇය ලොකු අයියාට බොහෝ සේ ආදරය කළාය. පාලිත කොළඹ රටින් ලස්සන බෝනික්කියක් ඇයට ගෙනවිත් දෙන්නට දුන් පොරොන්දුව නිසා ඒ ආදරය තවත් වැඩි වන්නට විය.

          තෙරුවන් සරණයි!
          ආදරණීය අම්මේ,
          මම හොඳින් ඉන්නවා. මට ඉන්න තැනක් ලැබුණා. ලියුමක් එවන්න පරක්කු වුණාට සමාවෙන්න. අලුත් රස්සාව නිසා වැඩ ඉගෙන ගන්න ටිකක් කල් ගියා. මං මේ මාසේ අන්තිමට පඩි ලැබුණාම ඇවිත් යන්න එන්නම්. මට කරදරයක් නැහැ. බය වෙන්න එපා. අම්මාත්, නංගිලාත්, මල්ලිලාත් සුවෙන් ඇතැයි හිතනවා. හැමෝම ආදරෙන් මතක් කළා කියන්න.
මීට                                                                                                     
ආදරණීය ලොකු පුතා

          ලිපිය කියවා අවසානයේ බිසෝමැණිකා දීර්ඝ හුස්මක් හෙළුවේ මහත් සැනසීමෙනි. ඇය සුපුරුදු පරිදි ගෙදර දොර වැඩ කටයුතු වලත් කඩයප්පං තැම්බීමේත් නිරතව සිටියාය.
          දින සති ගෙවෙද්දී පාසල් නිවාඩු කාලය අහවර වූවත් උපුල් පාසල් යාමට මැලිවූයේ ඉගෙනීමට ඇති අකමැත්ත නිසා පමණක් නොව දේවාලයෙන් ලැබෙන කෑමට හා මුදලටත් ලොල් වූ නිසාය. වයසට වඩා මුහුකුරා යමින් කරදඬු උස් මහත් වූ හිතුවක්කාරයාව මෙල්ල කිරීමට බිසෝමැණිකා අපොහොසත් වූවාය.

          දේවාලයෙන් ලැබෙන මුදලට ආස හිතුනත් ඉගෙනීම ඊට වඩා වටින නිසා සඳමාලි අලුතින් මැසූ සුදු ගවුමත් හැඳගෙන වෙනදාටත් වඩා උදයෙන්ම පාසල් ගියේ ඉමහත් සතුටිනි. බිසෝමැණිකාගෙන් ඇයට ලැබුණු අලුත් සෙරෙප්පු කුට්ටම මැටි පොළොව සිඹ ගත්තේ ඇය එය පළඳමින් සීරුවට හැඩ බලමින් ඇවිද්ද විටය. සඳමාලිගේ ඊළඟ අදිටන වුයේ දේවාලයේ හවස් භාගයේ වැඩ කොට පොත් පැන්සල් මිලදී ගැනීමට යම් මුදලක් එකතු කොට ගැනීමය.

          හදිසියේම දිනක ගමට පොලිස් ජීප් රියක් පැමිණීමෙන් ගම්මූ කලබලයට පත්වූයේ පොලිස් වාහනයක් ගමට පැමිණියේ ඉතා කලාතුරකින් නිසාය. දේවාලය වැටලූ පොලිස් නිලධාරීන් සාස්තර ගැහැනියට හා කපුවාට මාංචු දමා රැගෙන ගියේ මීට හත් අට මාසයකට ඉහතදී සිදු වූ මිනී මැරුමක ප්‍රධාන සැකකරුවන් වීම හේතුවෙනි.

          රැස්ව හුන් මිනිසුන් අතර සිටි බිසෝමැණිකාට දැනුණේ තමාට මාංචු දැම්මාසේය.  දේවාලයේ දොර වැසීමත් සමඟ තම දරුවන්ගේ කුස ගින්දරේ දොර ඇරෙන බව ඇය සිතුවේ වේදනාවෙනි.

          දේවාලය වැසීයාම නිසා හේරත් මුදලාලිගේ කඩයටද වෙනදා මෙන් සාරයක් නොවූයෙන් බිසෝමැණිකාගේ ඉදිආප්ප තැම්බීමද අඩුවිය. ලොකු පුතා කොළඹ ගොස් තුන් මාසයක් ගෙවී ඇතත් ඔහුගේ නොපැමිණීම ඇයට දරාගන්නට නොහැකිය. දිනෙන් දින ගෙදර අඟහිඟකම් දළු දාන්න පටන් ගත් විට කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් තම්බා පොඩි උන්ගේ බඩගින්දර නිවන්නට ඇයට සිදුවිය.

          කුස්සිය මුල්ලේ මැටි මුට්ටියක හාල් හුණ්ඩුවක් ඇය සඟවා තැබූයේ ලොකු පුතා පැමිණි දිනක උයා දීමේ චේතනාවෙනි. තුන් වේලටම බත් ඇටයක් නැති දාට ඇය හාල්ටික මුට්ටියෙන් ගෙන අතගා නැවත මුට්ටියටම දැමූයේ සුසුමක් හෙළමින්ය. හාල් හුණ්ඩුවක් දරුවන් හතර දෙනෙකුට කිසිසේත් ප්‍රමාණවත් නොවූමුත් ඇය එසේ කළේ ලොකු පුතුට ඇති සෙනෙහස නිසාමය.

          මද්දු පුතේ, හිච්චි මාමලාගෙ කොස් ගහෙන් හොඳට පැහිච්ච කොස් ගෙඩියක් කඩන් වරෙන්කො. අද දවල්ට පොඩි එවුන්ට කොස් ටිකක්වත් තම්බලා දෙන්න. ඊයේ කෑවෙත් දෙල්නෙ මයෙ පුතේ

          යොවුන් වියට එළැඹිමින් සිටි උපුල් අනුන්ට අතපාන්නට සිදුවීම පිළිබඳව සිටියේ බඩගින්නට යට වුණු ලැජ්ජාවකිනි.

          අනේ අම්මේ, හැමදාම ඔහොම අනුන්ගෙ ගස්වලින් ගෙඩි කඩාගෙන එන්න පුළුවන්ද? මොකක්ද මේකේ තේරුම. කෝ...අම්මගේ මහලොකු පුතා සල්ලි එවුවද? සල්ලි එවන්න තියා මිනිහා ගෙදරවත් ආවේ නැහැ. දැන් මාස පහක් ගියා. මාත් මොකක් හරි රස්සාවක් හොයා ගන්නවා. එතකල් සිරාගේ කසිප්පු වාඩියේ වැඩට යනවා. හැමදාම කොස් දෙල් කකා ඉන්නද......?

                                   *                   *                      *
          ගෝල්ෆේස් පිටියේ මුහුද මළහිරු ගිල ගනිද්දී නිම්මි, පාලිතගේ උරහිසේ හිස තබා ගත්තේ ඔහුගේ ඇඟිලි තුඩු තදින් මිරිකමිනි.

අනේ පාලිත, හැමදාම මෙහෙම මුහුද දිහා බලන් ඉඳලා , කඩල ගොට්ටක් එක්ක බැදපු ඉස්සෝ කාලා රෑ වුණාම ආයෙත් යනවා. අපි දවසක ගල්කිස්සේ බීච් එකේ තියෙන හට් එකකටවත් යමුකො. ටිකක් නිදහසේ ඉන්න පුළුවන් එතනට ගියාම. මෙතන හතර වටේම මිනිස්සු බලාගෙන ඉන්නවා. මට ඔයාගෙ ආදරය තාම හරියට දැනිලවත් නැහැනේ
          පාලිත ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියේ නිම්මි විසින් කියල ලද ගල්කිස්ස මුහුදු වෙරළේ ඇති ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති කමිනි. ඒ ගැන විමසා දැන ගන්නට ඔහු කළ උත්සාහය ඇයගේ හාස්‍යයට ලක්විය.

          අයියෝ ළමයෝ, ඔයා නම් මහ ගොඩයෙක්. ඒ වගේ දෙයක්වත් දන්නෙ නැද්ද? දැන් කොළඹට ඇවිත් මාස කීයක් ගියාද? ඔයා කමල්ගෙන්වත් අහලා දැන ගන්නකෝ

          පාලිත, නිම්මිව ළඟින් ඇසුරු කරන්න පටන්ගෙන සිවුමසක් ඉක්මවූවා පමණි. හැම මසකම අවසානයේ ගමේ යන්නට සිතා සිටියත් ඇගේ නොයෙක් ඉල්ලීම් ඉටු කිරීමට සිදුවීමෙන් ඔහුගේ අතේ ගමේ යාමට තරම් මුදලක් ඉතිරි වූයේ නැත.

           නිම්මි සේවය කළේ පාලිත වැඩ කළ ඇඟලුම්කම්හලේමය. ඇය සිනාසෙන විට මුහුණේ දකුණු පස කම්මුල වළ ගැසෙයි. පාලිත ගමේ ඉස්කෝලයට යන විට ඔහුගේ පන්තියේ සිටි කුසුම්ගේ දකුණු කම්මුලද  සිනාසෙන විට වළ ගැසුණ බව ඔහුට මතක් විය. කුසුම්ගේ අව්‍යාජ බවටත් අහිංසක කමටත් වඩා ඔහු ලොල් වූයේ ඇගේ කම්මුලේ වළ ගැසීමටය. ඇය පිළිබඳ ආදර හැඟීමක් ඇති වූවත් දිනෙන් දින ඒ ගැන කුසුම්ට ප්‍රකාශ කිරීමේ අවස්ථාව පාලිත කල් දැම්මේ මිත්‍රකම අහිමි වේ යැයි ඇති වූ බියටය. ඒ අතර කාලයේ පන්තියේ සිටි වෙන අයෙක් කුසුම්ට ළං වීමෙන් ඇය පිළිබඳ උපන් සිතුවිලි ඔහු යටපත් කරගත්තේ හිත් වේදනාවෙනි.

          අතීත සුන්දර මතකයන් මෙනෙහි කරමින් සිටින විට නොදැනුවත්වම නිම්මි පාලිතට ළංවිය. ඇය පාලිතට ඉක්මනින්ම ආකර්ෂණය වූයේ මනා පෞරුෂයකින් හෙබි කඩවසම් පෙනුමකින් ඔහු පොහොසත් වීම නිසාය.

          නිම්මි, පාලිත සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නට පෙර සිටම විටින් විට ඔහුගෙන් නොයෙක් හේතු කියා ණයට මුදල් ඉල්ලා ගත්තද ඒවා නැවත නොදුන් බොල් ණය විය.
          සති අන්තයේ නිවාඩු දිනවල හා පෝය දිනවල පාලිත කල් ගෙවූයේ නිම්මිගේ ඇසුර ලබමින්ය. ඔවුන් කොළඹින් පිටත්වන පාන්දර කෝච්චියේ නැගී නොයෙක් පැති වලට ගොස් කාලය ගෙවා දමන්නට පුරුදු වූයේ අතේ ඇති මුදල රෙස්ටුරන්ට් වලට පූජා කරමින්ය. සතියේ දිනවල රෑ නිදිවරමින් ලබා ගන්නා අතිකාල දීමනාව මෙසේ නිම්මිගේ සුඛ විහරණයට ඔහු වියදම් කළේ කිසිම ලෝබ කමක් නොමැතිවය.  

          නිම්මි නොයෙක් පිරිමි රවටා මුදල් ගන්නා බවත් ඔවුන් සමඟ විවිධ සම්බන්ධකම් පවත්වන බවත් කමල් කිහිප විටෙක පැවසුවද පාලිත සිටියේ ඇයගේ ආලිංගනයෙන් මත් වීය. ඇය වෙනුවෙන් හිතු හිතු ලෙස වියදම් කළේ ගැහැනියකගේ ඇසුර මින් පෙර කෙදිනකවත් නොලැබ සිටි නිසාය. ඔහුට නිම්මිගේ පහසින් මිදෙන්නට නොහැකි වූයේ රාගයෙන් මත් වී සිටි බැවිණි. අම්මා ගැන විටින් විට මතක් වූවත් නිම්මිව එක් මොහොතක් හෝ අත්හැර යන්නට නොහැකි තරම් මානසිකත්වයකින් ඔහු පෙළුණු බැවින් ගමේ යාම දිනෙන් දින කල් යන්ට විය. පාලිත ඔහුගේ ජීවිතයේ අංගයක් ලෙස සලකා  නිම්මිට ආදරය කළද ඇය එසේ නොවූයේ ඔහු ඇයට තව එක් පිරිමියෙකු පමණක් වූ බැවිනි.

          පාලිතගේ අහිසංකකමත් අවංකබවත් අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා නිම්මි පිළිබඳ ඔහුගේ බෝඩිම් සගයා වූ කමල්ට තිබුණේ වේදනාවකි. කෙසේ හෝ මේ මර උගුලෙන් තම මිතුරා ගලවා ගන්නට ඔහු නිතර උත්සාහ කළේ පාලිත කෙරෙහි ඇති ළැදියාවෙනි.

          මචං පාලිත, මං උඹට හිතවත් නිසා කියන්නෙ. ඔය ගෑනිව විශ්වාස කරන්න එපා බං. බලපන් දැන් මාස කීයක්ද?. උඹ අම්මව බලන්න ගමේ ගියාද? අඩුම තරමින් අම්මට සල්ලි කීයක්වත් යැව්වද? උඹෙ මුළු පඩියම ඒකිට පුදනවා. උඹට මාව විශ්වාස නැහැනේ. දවසක මං පෙන්වන්නංකො උඹේ ඔය උර චක්කරමාලේ වැඩ කොහොමද කියලා.  

          කමල්ගේ චවන පාලිතට දැනුණේ තියුණු පිහි පහරවල් ලෙසය.  පුරා සත් මසක් දුක් මහන්සියෙන් ඉපයූ දෑ ගෑනියක් නිසා දිය වී ගොස් ඇති බව ඔහු තේරුම් ගත්තේ නිම්මි ගල්කිස්ස මුහුදු වෙරළේ වෙනත් පිරිමියෙක් සමඟ වෙළී පැටලී සිටි අයුරු දුටු දවසේය.

                                 *                   *                      *

          මාස ගණනක් තිස්සේ වැස්සක සේයාවක් නොලැබූ ඈත වෙල්යායට ඉහළින් සුදු වළා රොදක් පාවී යන අයුරු බිසෝමැණිකා බලා සිටියේ සාංකාවෙනි. කසිප්පු වාඩියේ වැඩට ගොස් දෙමාසයකින් උපුල්, මහ උළු ගෙදර බත් කෑමට ගියේ චවන හුවමරුවකින් ඇති වූ පිහි ඇනුමෙන් කසිප්පු මුදලාලි සදාතනික නින්දට යැවීමෙනි.

          කුස්සිය මුල්ලේ සඟවා තිබූ හාල් හුණ්ඩුව‍ මේ අවස්ථාව වන විට බිසෝමැණිකා විසිතිස් වතාවක් අතගා නැවත මුට්ටියටම දමා තිබුණි. සත් මසක් ගත වූවත් විටින් විට ගෙදරට හාල් සේරුවක් දෙකක් ගෙනාවද ඇය ලොකු පුතා වෙනුවෙන් වෙන් කළ හාල් හුණ්ඩුව ආහාරයට නොගත්තාය. දවස් දෙකකින් බත් ඇටයක් නොකෑ අනිත් ළමයි තිදෙනාගේ කුසගිනි නිවනු වස් ඇය සැඟවු හාල් හුණ්ඩුව පිටතට ගෙන සුසුම්ළමින්ම ලිප තබා මදි පාඩුවට කොස් ගෙඩියක් ද තැම්බීය.

          වත්ත පහළ කලපු දියේ සරුවට වැවී තිබුණු කැරන් කොකු දළු ටිකක් කඩාගෙනවිත් ගෙදර තිබුණු අන්තිම පහේ සියල්ල දමා කැරන් කොකු මාලුව ඇය රසට ඉවුවේ ලොකු පුතුව සිහිකරගෙනය.

          ලොකු පුතා හරිම ආසයි කැරන්කොකු මාලුවට

          කුස්සියේ පොල් ගාමින් සිටි සඳමාලිට ඇය එසේ කීවේ දෙනෙතින් කඳුළු වගුරවමිනි.

          මොනවා කරන්නද අම්මේ, අයියා ගැන අපි කොහෙන් හොයන්නද?

          පොල් සම්බෝලය සාදා අහවරව බත් බෙදන්නට සූදානම් වූ බිසෝමැණිකා පොඩි දියණියගේ කෑ ගැසීමෙන් තිගැස්සිණි.

          අම්මේ...... අම්මේ..... ලොකු අයියා..........

          බිසෝමැණිකාගේ හදවත නතර වූවා සේ දැනිණි. ඇය ගෙයි ඉදිරිපසට දිව ආයේ දෑසට නැගුණු කඳුළු දෙකොපුලේ රූ රා වැටෙද්දීමය.

          ලොකු පුතේ, ඇයි මයෙ රත්තරං පුතේ උඹට මොකද වෙලා තිබ්බේ. මං කී දවසක් නම් මේ ගින්දර උහුලන් හිටියද? ඇයි උඹට අම්මව අමතක වුණාද? උඹ ඉන්න ඉසව්වක් දන්නව නම් මං මෙලහකට උඹව හොයා ගෙන ඇවිත්. උඹ ඇදිලා ගිහින් මයෙ පුතේ. වැඩරාජකාරි නිසා වෙන්න ඇති මයෙ හිතේ. අනේ වරෙං. උඹ බඩ ගින්නෙ ඇත්තෙ. උඹ ආස කෑම අද උයලා තියෙන්නෙ.මට හීනෙන් වගෙ හිතුණා උඹ අද එයි කියලා.....

          පුරා සත් මසක් මුලුල්ලේ සඟවා තැබූ හාල් හුණ්ඩුවේ උරුමක්කාරයා වූයේ පාලිතමය. අනෙක් දරුවන්ට ලොකු අයියා වෙනුවෙන් තම බත්පත පිදීමට සිදු වූවත් කිසිවෙකුත් මැසිවිලි නොනැගුවේ ඔහුට ඇති සෙනෙහසිනි. සිහියක් පතක් නැතිව බත්පත ගිල දමන ලොකු පුතු දෙස බිසෝමැණිකා බලා සිටියේ සතුටත් වේදනාවත් මුසු බැල්මෙනි.

          අනේ අම්මේ, පුදුම රසක් තියෙන්නෙ. මට තව බත් ටිකක් දෙනවද....?

          ලොකු පුතුගේ අනපේක්ෂිත ඉල්ලීමෙන් අසරණ වූ බිසෝමැණිකා කිසිවක් කියාගත නොහැකිව සිටිද්දී පාලිත බත් පත ඇයට දිගු කොට බලා සිටියේය.

          අයියේ, වෙන බත් නැහැ ගෙදර. අපිත් දවස් දෙකකින් බත් කාලා නැහැ.

          තම පුංචි නැගණියගේ චවන පාලිතගේ දෙසවන් බිහිරි කරන්නට තරම් දෝංකාර දුණි. ඇඳි වත පමණක් රැගෙන ගෙදර ඒමට සිදුවීම ගැන පාලිත මහත්සේ කම්පාවට පත්වූවේ නැගණියට ලස්සන බෝනික්කියෙකු ගෙන ඒමට දුන් පොරොන්දුව ද මෙනෙහි කරමිනි.


  


රුක්ෂිලා වෙත්තමුණි

27 comments:

  1. අම්මා මාස ගානක් ඉතිරිකල හාල් ටික ගැන මතක්වෙනකොට පපුව පිච්චිලා යනවා. ඒ තමයි ඉතා සංවේදීම සිදුවීම මට මේ කතාවෙ. ඊළඟට මහ උදුම පිළිකුලක් දැනෙන්නෙ මේ ගොං මීහරක ගැන. ගමේ හැදුනු කොල්ලෙක් උනාම මීට වඩා මහ පොළොවෙ පයගහල ඉන්න එපැයි.

    කොහොම උනත් මේ හැම සිදුවීමක්ම හදවත් ගැඹුරුම තැනට වදින්නෙ ඔබේ ලිවීමෙ තියෙන් සාර්ථකත්වය නිසා. මේ පුංචි ආරාධනාවක්. හදවතින්ම සුබපතමින් කරන. හැකිනම් දිගටම මැවැනි ස්ව්යං නිර්මාණයන්හි නිරතවන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සොයුර.........!
      මේ මගේ දෙවන නිර්මාණය. තාම කෙටිකතා තුනයි ලියල තියෙන්නේ. මං ලිව්ව පළමු කතාවත් ළඟදීම දාන්නම්. දැන් ඒක නැවත සංස්කරණය කරන ගමන්.

      Delete
  2. සංවේදී කතාවක්..

    මෙහෙම පුත්තු ඉන්න අතරෙ සන්තකයම තමන්ගෙ පවුලෙ අය වෙනුවෙන් කැපකරන දරුවොත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු.......!
      ඔව් ඒක ඇත්ත. මගේ ලොකු අක්කත් තම ජීවිත කාලයම දෙමව්පියන් වෙනුවෙන් කැප කරමින් ඉන්න කෙනෙක්.

      Delete
  3. රුකී.. කතාවේ අවස්ථා සම්බන්ධයන් ගැලපීම්, ගලායාම් වගේම ඔබගේ සමහර රූපක භාවිතයත් හොදයි. ඒත් මට දැනුනේ මේ කතාව ඉතාම සරල අන්දමේ එකක් කියලයි.. ඒක නිසා හොද ප්ලොට් හොයන්න. සමහර විට කුනු ගොඩෙන් උනත් හොද ප්ලොට් එකක් හදාගන්න පුළුවන්. ඔබට හොදින් බස හැසිරවිය හැකියි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. තව තවත් මිනිස්සුන්ගේ සිතුවිලි වල සංකීර්ණ බව ඔබ සිතින් අත් විදින්න. ඔබ සිතන විදියට එක් එක් කෙනා ගැන හිතන්න. එවිට ඔබට වැටහේවි එක් එක් චරිතය පිළිබදව ඔබ අදහස් ප්‍රකාශ කළ යුත්තේ කෙසේද කියා. ජය වේවා. තවන් නිර්මාණ සමගින් හමුවෙමු

    ReplyDelete
    Replies
    1. ඔබේ වටිනා අදහසට බොහෝම ස්තූතියි දේශකයා.............!
      තාම පුංචි කළලයක්නේ. තව ටික කාලයක් යද්දී වර්ධනය වෙලා ගැබ මෝරල එයි කියල බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. ඒක තමා වෙන්නේ.. ඒ ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි බොරුවට පට්ටයි සිරා කියල කියන්න නං මගේ කට ඇත්තට ම නැමෙන්නේ නැහැ.. ඔබට ජය...

      Delete
    3. නැවතත් ස්තූතියි දේශකයා අවංක අදහසට.........!

      Delete
  4. බොහොම සංවේදි කතාවක් නේ රුක්ෂි. අවසානය හද සසල කරවනවා. අදයි මේ පැත්තට ගොඩ වැදුණේ...... එන්නම් දිගටම
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නලින් අයියා...........!
      මීට කලින් සතියේ දැම්මා “මොණරු“ කියල කෙටිකතාවකුත්. නිදහස් වෙලාවක ඒකත් බලලා අඩුපාඩු පෙන්නලා දෙන්න.

      Delete
  5. රතු මාමාThursday, May 22, 2014 6:33:00 PM

    මට වැඩිය කෙටිකතාව කලාව ගැන තේරෙන්නේ නැහැ දරුවෝ..........
    ඒත් මට දැනෙන විදියට ඔබ අංකුර ලේඛිකාවක් වුණත් ඉතා දක්ෂ අයුරින් භාෂාව හසුරුවල තියෙනවා.
    අවසානය නම් අර නලින් පුතා කිව්වා වගේ බොක්කටම දැනුණා. පාලත කියන හාදයට පොළොව පලා ගෙන යන්න හිතෙන්න ඇති.
    දිගටම ලියන්න. අපි මග බලා ඉන්නවා ඔබේ ඊළඟ නිර්මාණය එනකල්...........
    ජය.......!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතු මාමේ..........!

      Delete
  6. කතාව නං පට්ටය ප්ලොට් එක හා භාෂා භාවිතයද අපූරුය...
    ඒත් විස්තර කිරීම් අධිකය එය කෙටිකතාවක රසය හීන කිරීමට හා කියවන්නා එපා කිරීමකට ලක් වේ...
    උත්සාහය අගයමි...
    දිගටම ලියන්න අඩුපාඩු මගහැරගෙන ලියන්න හැකි වේවි
    ඔබට ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සොයුර........!

      Delete
  7. මුල් ටික හිතට ඇල්ලුවෙ නෑ. ඒ ටික මට දැනුන විදියට සාමාන්‍ය ප්‍රවෘත්ති කීමක් කියල හිතුනෙ. නමුත් අන්තිමට පුතෙක් සිරගතවීමෙන් පසුව කෙටි කතාවක ලක්ෂණ තියනව. දිගටම ලියන්න වැරදි හදාගන්න.ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සොයුර......!

      Delete
  8. රුක්ෂිලා 2011 ඉඳල නේද ලියන්නෙ නම වෙනස් කරලද මට මිස් වෙලාද කියල හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් 2011 තමයි මං මේ බ්ලොග් එක පටන් ගත්තේ. නම වෙනස් කළේ නැහැ. ඒත් වැඩි උනන්දුවක් තිබ්බේ නැහැ. හිතුන වෙලාවකට මාසයකට සැරයක් විතර ලොග් වෙලා මොකක් හරි කවියක් දානව. නැත්නම් මං ගත්ත ෆොටෝ එකක් දානව. අන්න එහෙමයි මං මේ බ්ලොග් එක භාවිතා කළේ. ඉතිං වැඩිය කට්ටියක් මාව දැනන් හිටියේ නැහැ.
      ඒත් මේ අවුරුද්දේ මුල අපේ ඉන්දික උපශාන්ත සොයුරාව මෙහිදී (බහරේන් වලදී) අපිට මුන ගැහුනා. අපි කිව්වේ මටයි මගේ මහත්තයටයි. (හෙන්රි වර්ණකුලසූරිය)
      ඉන්දිකත් බ්ලොග් එකක් ලියනව කිව්වම ආයෙත් උනන්දුවක් ඇති වුණා. ඉතිං ආයෙත් බ්ලොග් එකට නිතර ගොඩ වෙන්නත් අනිත් අයගේ බ්ලොග් වලට රිංගලා ඒවා කියවන්නත් පටන් ගත්තා.
      ඔයාට මාව මග ඇරෙන්න ඇත්තේ මං කිව්ව ඒ කරුණු නිසා වෙන්න ඇති.
      සතුටුයි මේ පැත්තට ගොඩ වුණාට.

      Delete
  9. ඇත්තෙන්ම සංවේදී කතාවක් රූ.

    අපේ සමාජෙ පාලිතලා වගේ ගොන්නුත් නිම්මි වගෙ කපටි ගෑණුත් කොච්චර ඉන්නවද.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සොයුර....!

      Delete
  10. හිතට දැනුන කතාවක් අක්කේ... අපේ සමාජය කපටිකමත් මෝඩකමත් අතරේ දෝලනය වෙනවනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මල්ලී......!

      Delete
  11. අර දේවාලෙ කතාව දාපු එක නං මරු... අපේ මිනිස්සු හරි කැමතියි ඩෝර් ගාලා උඩ යන්න.. ඒත් අමතක වෙනවා ඩෝර් ගාලා බිමටත් වැටෙන්න ඉඩ තියෙනව කියල... එක අතකට බැලුවම මේ මිනිස්සුන්ව මෝඩයො කරගන්නෙත් මේ සමාජයෙ මිනිස්සුම තමයි... එතකොට කවුද මෝඩ කියල හිතන්නත් වෙනව... එක්කො ඒක මෝඩ කම නෙවෙයි.. මෝඩ අහිංසක කම...

    පරණ බ්ලොග් එකක්නෙ ... මට මිස් උනේ කොහෙමද... දේශකයගෙ පෝස්ට් එකේ කමෙන්ට් එක දැකලයි මේ පැත්තෙ ආවෙ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි හිරු.............!
      ඔව් රාජ් මේ ප්‍රශ්නෙම අහල තිබ්බා. මං ඒකට උත්තරය උඩ ලියල තියෙනවා හිරු.
      නැවතත් ස්තූතියි මේ පැත්තට ගොඩ වුණාට.

      Delete
  12. හොඳ උත්සාහයක් රුක්ෂිලා,කම්මැලිකමක් නැතිව කියවන්න පුළුවනි.මම මීට කලින් මේ බ්ලොගේ කතා බලල නෑ මම හිතන හැටියට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ..........!
      ඔව් අදමයි මේ පැත්තට ගොඩ වුණේ නේද.......
      නිදහස් විටක ගොඩ වෙන්න ආයෙත්..............

      Delete
  13. අදහස් දැක් වූ සියලු ද‍ෙනාටම බොහෝම ස්තූතියි............!

    ReplyDelete