Thursday, March 13, 2014

ඉන්දීය බිතුසිතුවම් කලාවේ නිදන් ගබඩාව අජන්තා බිතුසිතුවම්..............

            පුරාවිද්‍යාඥ ජේම්ස් බර්ජස් හා විලියම් ජිල් මෙම සිතුවම්වල සංරක්ෂණ කටයුතු පළමුවරට ආරම්භ කර ඇත. මොවුන් වර්ෂ 1866 දී එංගලන්තයේ ක්‍රිසල් පැලස් හිදී මේ චිත්‍රවල ප්‍රදර්ශනයක් පැවත්වීය.නමුත් අවාසනාවකට මෙන් එම චිත්‍ර ගින්නකට හසුව විනාශ වූ බව සඳහන් වේ. ඊට පසු ග්‍රිෆිත් හා හෙරිංහැම් ආර්යාව සතුව තිබූ පිටපත් නැවත මුද්‍රණය කර 1896 - 1915 කාල වකවානුවේ ප්‍රකාශයට පත් කළ බව සඳහන් වේ.

වර්ෂ 1933 දී හයිද්‍රබාද්හි නිසාම් මහරාජාගේ අනුග්‍රහය යටතේ මේ ගුහා චිත්‍රවල සංරක්ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇත. හයිද්‍රබාද්හි පුරාවිද්‍යා අධ්‍යක්ෂ යෂ්ඩනිගේ මූලිකත්වයෙන් ඉතාලි චිත්‍ර කලා තාක්ෂණවේදීන්ගේ ආධාරය ඇතුව චිත්‍රවල පුනරුත්ථාපන කටයුතු සිදුකර ඇති බව සඳහන් වේ.        මේ චිත්‍ර ආසියානු බෞද්ධ චිත්‍රකලා සම්ප්‍රදායට අයත් වන්නේ යැයි ඔවුන් සඳහන් කරයි. බටහිර පාතීනත්, චිත්‍රකලා සම්ප්‍රදායේද, නේපාල, මධ්‍යම ආසියා, චීන, ජපන්, බෞද්ධ චිත්‍රකලා සම්ප්‍රදායන්ගේද සමහර සමාන ලක්ෂණ මේ චිත්‍රවලද දක්නට ලැබෙන බව කියැවේ. මේ අජන්තා ගුහා චිත්‍රද නැගනහිර බෞද්ධ සම්භාව්‍ය කලා සම්ප්‍රදායට අයත් නිර්මාණ වේ. මේ චිත්‍රවල වස්තු විෂයයන් බෞද්ධ කතා හා විවිධ ආගමික සංසිද්ධී ඇසුරෙන් තෝරාගෙන ඇත.   
 ජාතක කතා මින් ප්‍රධාන වෙයි. අජන්තා ගුහා සිතුවම් 28ක් දක්නට ලැබෙයි.     
අජන්තා බිතුසිතුවම් බටහිර ෆෙස්කෝ බිතුසිතුවම් කලාවෙන් සම්පූර්ණයෙන් වෙනස්වන බව කියැවේ. තෙත් හුණුගල් බදාමයක් මත අඳින බිතුසිතුවම් ෆෙස්කො නමින් හඳුන්වයි. නමුත් අජන්තා සිතුවම් ඇඳ තිබෙන්නේ වියළි බදාමයක් මත යයි සොයාගෙන ඇත.

අජන්තා ගුහා බිතුසිතුවම් ඇඳ තිබෙන ගල්බිත්ති චිත්‍රකරණයට සකස් කරගෙන ඇත්තේ මෙසේය.  පළමුව ගල්මතුපිට මඩ පස් ආවරණයකින් වසාදමයි. එම මඩ ආවරණය ගොමවලින්ද, කුඩාවට කපන ලද ගොයම් ඉපැනැලි හෝ සත්ත්ව කෙස්වලින්ද මිශ්‍රණය කර සකස් කරගෙන ඇත. මෙහි ඝනකම අඟල් 1 1/2 පමණ වෙයි. ඊටපසු ජිප්සම් ගල් ඉතා කුඩාවට කුඩුකර, පෙනේරයෙන් හලා එම කුඩුවලින් පළමු ආවරණය වසා ඇත. එසේ නැතහොත් හුණුගල්කුඩු මේ දෙවන ආවරණයට යොදාගෙන ඇත. මෙහි මතුපිටේ මූලික චිත්‍ර රූප ඇඳීම කර ඇත. මේ රේඛා ඇඳීම සඳහා රතු ඛනිජ නැතහොත් රත්හිරියල් උපයෝගිකරගෙන ඇත. 

මේ ගුහා සිතුවම් ශතවර්ෂ ගණනාවක් පුරා සිතුවම්කර ඇති බව සඳහන් වේ. වකටක හා චාලුක්‍ය අධිරාජ්‍යයන්ගේ කාලයේ එනම් ක්‍රි.ව. 4-7 දක්වා කාලයේ බොහොමයක් මේ සිතුවම් නිර්මාණය කර ඇතැයි කියැවේ.පළමු ගුහා චිත්‍ර සිතුවම් පුලකේෂි රජතුමාගේ කාලයේ පළමු ශතවර්ෂයේ නිර්මාණය වී ඇත. මේ රජතුමා  ක්‍රි.ව. 642 දී මියැදින. මේ අජන්තා චිත්‍රවලින් බොහෝ දුරට ස්වභාවික හැඩතල ප්‍රදර්ශනය වෙයි. වර්ණ සංයෝජනයද එසේමය. හැඩතල, ප්‍රමාණය, හැඟීම් ප්‍රකාශනය, සමානතාවය යන චිත්‍ර කලා ගුණාංග මේ චිත්‍රවල දක්නට ලැබෙයි.  

ඉන්දියාවේ 5 ශතවර්ෂයේ ගුප්ත යුගයේ චිත්‍ර කලා සංස්කෘතියේ අවසානය මේ අජන්තා සිතුවම් යැයි සඳහන් වේ. ඉන්දියාවේ බෞද්ධ චිත්‍රකලා ඉතිහාසයේ අවසානය සනිටුහන් කරන්නේද මේ චිත්‍රයි. ඊට පසු යුගය දේවාත්වරෝපණ සම්ප්‍රදායට අයත් වෙයි. යුරෝපීයනට යම්සේ පාතීනන් පළිඟු චිත්‍ර වැදගත් වන්නේද එලෙසම ආසියානුවන්ට අජන්තා ගුහා චිත්‍ර වැදගත් වෙයි.   


අජන්තා ගුහා සිතුවම්වල ප්‍රධාන තේමාව වී ඇත්තේ බුදුන් වහන්සේගේ පුනර්භව කතාය. ජාතක කතා මින් ප්‍රධාන වෙයි. 17 වන ගුහාවේ වෙස්සන්තර ජාතක කතාවේ චිත්‍ර ප්‍රදර්ශනය වෙයි. කරුණා, දයාව, ජීවිතයේ මරණය හා අනිත්‍යයද මේ චිත්‍රවලින් ප්‍රකාශනය වෙයි

6-7 ශතවර්ෂවලනිර්මාණය වූ ගුහා චිත්‍රවල බටහිර ආසියානු ඇසිරියන් චිත්‍ර කලා සම්ප්‍රදායේ චිත්‍ර කලා ලක්ෂණ දක්නට ලැබෙන බව සඳහන් වේ. ලලනා චිත්‍ර විශේෂයෙන් අප්සරාවන් හා නාටිකාංගනාවන් ඉතා විචිත්‍ර ලෙස විවිධ ඇඳුම් පැළඳුම් හා ආභරණවලින් සරසා චිත්‍රගත කර ඇත. 
ආගමික ප්‍රකාශන තේමා ලක්ෂණ පසුකාලීන ගුහා චිත්‍රවලින් බැහැර වී ඇති බව මින් පෙනේ. මෙම චිත්‍ර අධ්‍යයනය කිරීමේදී පසුකල ගුහා චිත්‍රවල මහායාන බෞද්ධ දේවාත්ව රෝපණ චිත්‍ර සම්ප්‍රදායක් දක්නට ලැබෙයි. ‍පොදුවේ ගත්කල මෙම චිත්‍ර ඉන්දියාවේ ගුප්ත හා චාලුක්‍ය රාජ්‍ය යුගවල භෞතික සංස්කෘතිය හැදෑරීමට උපයෝගි වෙයි.  


රූගත කතුන්ගේ ආභරණ, ඇඳුම් පැළඳුම්, මල්, පලතුරු, ගස්, පක්ෂීන් ආදියෙන් සරසන ලද පසුතල හා චිත්‍ර එවක මානව සංස්කෘතිය කෙසේ වූයේ දැයි ප්‍රකාශනය කරයි. අජන්තා ගුහා සිතුවම් බෞද්ධ ආසියානු චිත්‍රකලාව විස්තර කරන්නා සේම ඊට නිර්මාණ පසු යුගයේ නිර්මාණය වූ එල්ලෝරාහින්දු චිත්‍රකලා ඉතිහාසය විස්තර කරයි. අජන්තාවේ පළමු ගුහා චිත්‍ර සැරසිලි  ශ්‍රී ලංකාවේ ‍පොළොන්නරු යුගයේ චිත්‍රකලා කෘති කෙරෙහි ආභාෂය ලබා දී ඇති බව සඳහන් වේ. 

සීගිරි චිත්‍රවලද අජන්තා සිතුවම්වල සමාන ලක්ෂණ දක්නට ලැබෙයි. 

ලොව උතුරු හා නැගෙනහිර දෙසට බුදු දහම ව්‍යාප්ත වීමත් සමග අජන්තා ඉන්දියානු බෞද්ධ චිත්‍ර කලාව තුර්කිස්ථානය, චීනය වැනි රටවල චිත්‍රකලාව කෙරෙහි බලපා ඇත. එයට කදිම  නිදසුන ඇෆ්ගනිස්ථානයේ අඩි 175 උස වූ බාමියන් බෞද්ධ පිළිරුවයි. එහි නිර්මාණ කලා ලක්ෂණ අජන්තා කලා සම්ප්‍රදායට සමාන බව සඳහන් වේ. ඉරානයේ තුර්ෆාන් කයිසිල් ආදී ස්ථානයන්හි ඇති චිත්‍රවලට අජන්තා චිත්‍ර ෙශෙලියේ බලපෑම් ලැබි ඇත. චීනයේ 6-7 ශත වර්ෂවලට අයත් වූ ටුන්හුආං හි චිත්‍රවලද අජන්තා ශෛලිය දක්නට ලැබෙන බව ‍පොතපතේ සඳහන් වේ. ක්‍රි.ව. 7-8 ශතවර්ෂවල චීනයේ ටෑන්ග් අධිරාජ්‍යාගේ කාලයේ චීනය හා ඉන්දියාව අතර සුහද දේශපාලන සම්බන්ධතාවක් තිබි ඇත.















6-7 ශත වර්ෂවල ජපානයේ නිර්මාණය කරන ලද චිත්‍ර කලා කෘති කිහිපයක අජන්තා ශෛලියේ නිර්මාණ දක්නට ලැබෙන බව කියයි. ඊට නිදසුන් ලෙස නාරා හි දක්නට ලැබෙන තචිබාන සිද්ධස්ථානය පෙන්වා දිය හැකිය. මේ සිද්ධස්ථානයේ කලා නිර්මාණවලට චීන චිත්‍ර සම්ප්‍රදායන් බලපා නැති බවද සඳහන් වේ.
8 වන ශතවර්ෂය අයත් යයි සැලකෙන 1948 ද විනාශ වූ හෝර්යුජිහි දක්නට ලැබුණු චිත්‍ර නිර්මාණවල අජන්තා ශෛලියේ නිර්මාණ තිබූ බව සඳහන් වේ.
ග්‍රීක හා රෝම චිත්‍ර කලාවේ ආභාෂය මුළු යුරෝපය පුරා පැතිර ගිය අයුරින් අජන්තා බිතුසිතුවම් චිත්‍ර කලා ෙශෙලිය හා සම්ප්‍රදාය මුළු ආසියාව පුරාවට ඉරානයේ සිට ජපානය දක්වා පැතිර ගිය බව සඳහන් වේ.  



*උපුටා ගන්නා ලද්දකි...............(සමුදුර)

8 comments:

  1. ඔය හැමතැනම කටවුට් ගහන්න තරං ඉන්දියාව නිකං ඒ දවස්වල ඇමරිකාව වගේ තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් අමිල ඒක එහෙම්ම වෙන්න ඇති.........

      Delete
  2. බොහොම ස්තූතියි විස්තර වලට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් රස වින්ඳාට............!

      Delete
  3. හැමදාම වගේ නියමායි කියල තමා කියන්න තියෙන්නෙ.... ස්තූතියි මෙවන් වටින විස්තරයක් අප හා බෙදා හදා ගැනීම සම්බන්ධව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් රස වින්ඳාට............!

      Delete
  4. වෙල්ලෝරාවේ අජව්තා බිතුසිතුවම්වලට සිගිර බිතුසිතුවස් බෙහෙවින්ම සමානකමක් දක්වනවානේ. මේ ඉතිහාසය අපුරුවට පැහැදිලි කරල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.............!

      Delete