Thursday, February 20, 2014

රජ පහස ලද අසිරිමත් වාරණ වෙහෙර

       කොළඹ - නුවර පාරේ (ගම්පහ දිස්ත්‍රික්කයේ ) තිහාරිය හන්දියෙන් දකුණට වැටී ඇති මාර්ගයේ සැතපුම් 2 ක් පමණ ගිට විට සියනෑ කෝරලයේ මැදපත්තුවේ මංගලතිරිය නම් ගම්මානයේ නිල්වන් කෙත් යායක් මැදිකොට ඉහළට නෙරා ගිය රමණීය කඳුගැටය වාරණ විහාරස්ථානය පිහිටි තැනයි. එම පර්වතය ඇතෙකු වැනි හැඩයෙන් යුතු වු නිසා වාරණ නම් වූ බවට මතයකි. එමෙන්ම “වා” නැමැති ගස් විශේෂයකින් බහුල අරණක් වූ නිසා වා-අරණ, වාරණ වී යයිද මතයකි.එමෙන්ම බෞද්ධයින්ගේ පැරණි වන්දනා කවියකද වාරණ ගැන මෙසේ සඳහන් වේ.

ආරණ පොල්වතු උයන්                ලැබෙන්ඩයි
මෝරන පොල් ගෙන හිඳ             පේවෙන්ඩයි
පායන පුන්සඳ සේ                     බැබලෙන්ඩයි
වාරණ ගල යට බුදුන්                        වඳින්ඩයි



             මෙම විහාරය වළගම්බා, කීර්ති ශ්‍රී නිශ්ශංක, සවැනි පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ අනුග්‍රහය ලද බව කියවේ. කෝට්ටේ රාජ්‍ය, සමය විහාරස්ථානයේ පුනරුදයක් ඇති වූ යුගයකි. සවැනි පරාක්‍රමබාහු රජතුමා කීරවැල්ලේ බිසවුන් සමඟ පැමිණ මෙහි ඉඩම්ගල අභියස බණ මඩුවක් සාදවා පිරිත් පිංකමක් කරවූ බවත් එහි අනුශාසනාව දේශනා කළ සෙන්දිරිප්පෙරුම නම් තෙරුන් වහන්සේට නායක පදවියත් සමඟ ගම්වරයක් පූජා කළ බවත් දොරකඩ අස්න කී අල්පිටිගම ළමයාට “ ශ්‍රී වර්ධන දොරකඩ මුදලි” යන නම් වූ නාමය සමඟ නින්දගමක් දුන් බවත් “අල්පිටිගම” නම් පාරම්පරික තඹ සන්නයක සඳහන් වන බව “වාරණ වරුණෙහි” අන්තර්ගත වේ.

  විහාරස්ථානයට පිවිසෙත්ම දකුණු පසින් විශාල ගල් පර්වතයක් දිස් වේ. මෙය “ඉඩම් ගල” නමින් හැඳින්වෙන අතර උසින් අඩි 100 කට වැඩිය. තුන් පැත්තකට විහිදී ගිය ලෙන් පිහිටා ඇති අතර නැගෙනහිර පෙදෙසට විහිදුණු ගල් තලාවකි. එය දික් ගලකි. මෙහි පැරණි බ්‍රහ්මී අක්ෂරයෙන් කළ සෙල් ලිපියක් හමුවේ. 

“බත මඣිමශ බතික බත තිශ දතශ දනෙ” යනුවෙන් සඳහන් වන එහි අර්ථය වන්නේ “ මජ්ඣිම ස්වාමින් වහන්සේගේ සහෝදර තිස්ස දත්ත ස්වාමීන් වහන්සේගේ දීමනාවයි” යන්නය. 

       තිස්ස දත්ත තෙරුන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේගේ සද්ධි විහාරියන් වහන්සේ බව “තිස්සදත්ත, කාලසුමන, දීඝසුමනාදයොව, මහාරට්ඨ තෙරස්ස අන්තේවාසික” යන සමන්ත පාසාදිකා නම් විනය අටුවා පාඨයෙන් සනාථ වේ. මහා වංශයට අනුව දෙවන පැතිස් රජු යොදුනෙන් යොදුන විහාර කරවු බව සඳහන් වන අතර ඉන් එක් විහාරයකි වාරණ රජමහා විහාරය. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙක් වූ සෙනරත් පරණවිතාන මහතා මෙම සෙල් ලිපියේ සඳහන් අක්ෂර පිළිබඳව අධ්‍යනය කොට එය ක්‍රි.පූ. 3 වන සියවසේ මුල් භාගයට අයත් බ්‍රහ්මී අක්ෂර ලෙස “Inscription of Ceylon” නම් වූ සෙල් ලිපි සංග්‍ර්‍රහයේ සඳහන් කර තිබේ.

          විහාරයෙහි දකුණු පෙදෙසෙහි පිහිටි ලෙන තුළ වු පැරණි සංඝාවාසය කඩා ඉවත් කොට “කොස්සින්නේ ශ්‍රී පඤ්ඤානන්ද අනුස්මරණ පිරිවෙන් ශිෂ්‍ය නිවාසය” අලුතින් ඉදිකොට තිබේ. 

          එමෙන්ම භික්ෂුන් වහන්සේලාට පැන් ලබා ලැනීමට පහසුවන ආකාරයට දකුණු පස ඇති ලෙන් තුළම ළිං සාදා තිබේ. 



උතුරු පෙදෙසෙහි අර්ධ ලෙන තුළ විශාල තෙමහල් ධර්ම මන්දිරය නිමවා තිබේ. එහි මණ්ඩපයට ඉහළින් සදෙව්ලෝ හා බ්‍රහ්ම ලෝකය , ජම්බුද්දීපය ආදිය නිරූපණය වන සිතුවම් ඇඳ තිබේ. 





ලෙනෙහි කෝට්ටේ යුගයේ කරවූ යැයි සැලකෙන වෙස්සන්තර කථා පුවත ඇතුළත් පැරණි සිතුවම් දක්නට ලැබෙන අතර ඉන් බොහෝමයක් අභාවයට ගොස් තිබේ. පහත මළුවේ තෙරුවන් මැදුර පිහිටා ඇති අතර, එහි උඩු මහලෙහි ධාතු මන්දිරයත්, දෙවන මහලෙහි මංගලතිරි පිරිවෙන් පුස්තකාලය සහ කියවීම් ශාලාවත් , බිම් මහලෙහි සංඝාවාසයත් පිහිටා තිබේ. 

           මින් පසු එළඹෙන්නේ විහාරාධිපති හිමි වැඩ වසන ලෙන තුළ පිහිටි සංඝාවාසයයි. මෙම ලෙන අසල ගල් වියනක් ඇති අතර ඉන් ඔබ්බට දාන ශාලාවද ඊට උතුරින් “ කොප්පරාගල” නමින් හැඳින්වෙන ගල් පව්ව යට, උඩ පන්සල නම් වූ නවීකරණය කළ සංඝාවාස ලෙන් කුටිය පිහිටා ති‍බේ. 



දකුණු පෙදෙසට වන්නට මැද මළුවට පිවිසීමට ඇති ගල් පඩි හමුවේ. එය ගණනින් සියයකි. මෙහි මදක් ගමන් කළ විට පසෙකින්“ කොස්සින්නේ පඤ්ඤාකක්දාභිධාන” නායක ස්වාමින්ද්‍ර ස්මාරකය හා ඒ අසල පිහිටි පොකුණ දක්නට ලැබේ. 



    ඝණ්ටාර කුලුන යටින් මැද මළුවට පිවිසෙත්ම ඉදිරියෙන්ම මහා විහාර මන්දිරය පිහිටා ති‍බේ. මෙය කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු කොටසේ දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේද , ඉන් දෙපස විෂ්ණු , සමන් , නාථ යන දේව රූපද, ආනන්ද මහ රහතන් වහන්සේගේ රුව සහිත ප්‍රතිමාද දක්නට ලැ‍බේ. එමෙන්ම වළගම්බා රජුගේ රුවෙහි බිතු සිතුවම්ක්ද මෙහි ඇද තිබේ. දෙවන කොටසෙහි සූවිසි විවරණ හා සත්සතිය පෙන්වන ප්‍රතිමාද , විෂ්ණු දේව රුවද ඇති අතර ලෙන් වියන පැරණි සිතුවමින් සරසා තිබේ. මෙම සිතුවම් අතර මහින්දාගමනය, මහ මෙවුනාවේ බද්ධ සීමාව පිහිටුවීම, දන්ත ධාතුන් වහන්සේගේ වැඩම වීම, මහමෙවුනා උයන් පූජාව, සෝමා දේවිය තම සැමියා බේරා ගැනීම පිණිස රියෙන් බැස සතුරා ඉදිරියට යාම, අනුලා දේවිය පැවිදි වීම, වළගම්බා රජු කටාරම් කෙටවීම ආදි කතා පුවත් හා බිමිබිසාර රජුගේ රුවක්ද සිතුවටම නගා තිබේ. 

           විහාර මන්දිරයට උතුරින් සතර දේවාලයද මෙම ගල් ලෙන තුළම පිහිටා තිබේ. බටහිර දෙසට වූ ලෙනෙහි පොහොය සීමාව ඇති අතර ඉදිරියෙන් මෑත කාලීනව කරවන ලද දොලොස්මහේ පහන් ගෙය දක්නට ලැබේ. 





        විහාර මන්දිරයට දකුණු දෙසින් ඇති ලෙන තුළ පැරණි චෛත්‍යයක් දක්නට ලැබේ. එය මුල්කාලීන චෛත්‍ය ගෘහයන්ගේ ආකෘතිය නියෝජනය කරන්නකි. 










මින් පසුව පඩි 125 ක් පමණ නැගීමෙන් පසු ඉතා රමණීය පරිසරයක පිහිටි උඩ මළුවට පිවිසේ. 







           මළුවේ මැද බෝධි වෘක්ෂය පිහිටා ඇති අතර පසෙකින් විහාර ගෙය දක්නට ලැබේ. විහාරගෙට පිවිසෙත්ම දකුණු පසින් දැඩිමුණ්ඩ දේව රුවද ඇතුළු වන දොරටුවෙහි අලංකාර මකර තොරනක්ද දක්නට ලැබේ. සදෙව්ලොව නිරූපණය කරමින් ලෙනෙහි වියන සරසා තිබේ. ඒ වටා ඇති බිත්ති දේවාරාධනාව, සිදුහත් උපත, කාලදේව තවුස් හිස මත සිදුහත් කුමරු පා තැබීම, වප් මඟුල හා ශිල්ප දැක්වීම යනාදි සිතුවමින් අලංකාර කර තිබේ. ඇතුළු ලෙනෙහි දහඅට රියන් බුද්ධ ප්‍රතිමාවද , දකුණු පසින් ඔත් පිළිම තුනක්ද , උතුරු පෙදෙසට මල් තොරණ සහිත තවත් ඔත් පිළිමයක් හා හිටි පිළිමයක්ද දක්නට ලැබේ. එහි පසෙකින් මෛත්‍රී බෝසත් රුව හා වළගම්බා රුව තිබේ. 

        වාරණ විහාරස්ථානයේ චිත්‍ර යුග කිහිපයකටම අයත් වන අතර වැඩි වශයෙන් නියෝජනය වන්නේ මහනුවර යුගය හා මෑත යුගයයි. අලුතින් ඉදිකරන ලද ධර්ම ශාලාව කේන්ද්‍ර කොට ගෙන ඇති ලෙනෙහි වෙස්සන්තර ජාතකය නිරූපණය කරන චිත්‍ර දක්නට ලැබේ. එය තීරුවලට බෙදා අඛණ්ඩ කථන ක්‍රමයට මහනුවර ශෛලියෙන් රේඛා භාවිතා කොට එම රේඛා මැද වර්ණ ගන්වා අදින ලද සිතුවම් රැසකි. ඇමි. සාර්ලිස් නම් චිත්‍ර ශිල්පියාගේ ආභාෂය ඔස්සේ අඳින ලද නූතන යුගය නියෝජනය කරන සිතුවම් උඩ මළුවේ විහාර ගෙය තුළ දක්නට ලැබේ.

     සීතාවක රාජධානි සමයේදී හා පෘතුග්‍රීසි කාලයේදී මෙම විහාරස්ථානයට දැඩි ලෙස හානි සිදු වු නිසා විහාරය වල් බිහි වී ගියේය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය නොමදව ලබා විහාරය ඉතා දියුණු තත්ත්වයකට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.


රුක්ෂිලා වෙත්තමුණි
2011 ජුනි මස 21 වන අඟහරුවාදා දිනමිණ පුවත් පතේ පළ වූ ලිපියකි

5 comments:

  1. වැදගත් තැනක් වගේ ඉඩයක් තිබොනුතො ගිහින් බලාන්ට වටිනවා.

    ReplyDelete
  2. Amila
    ඔව් අමිල හරිම වැදගත් වගේම ලස්සන තැනක්. ඉඩ ලැබුණු ගමන්ම ගිහින් බලන්න.

    ReplyDelete
  3. ඉතා වටිනා විස්තරයක්.............
    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තාට රුක්ෂිලා..............
    පුළුවන් වෙච්ච ගමන් යන්න ඕනේ..........

    ReplyDelete
  4. සිහින කුමාරිWednesday, April 09, 2014 7:04:00 PM

    ලිපිය වගේම පින්තූර ටිකත් හරිම ලස්සනයි. මට නම් දැනුණේ හරියට වාරණ පන්සලේ දැන් ඉන්නව වගෙ. ඒ ඒ විස්තර වලට අදාලව පින්තූර දාල තියෙන එක හරිම වටිනව.
    බොහෝම ස්තූතියි රුක්ෂිලා අක්කේ අපිත් එක්ක මේ වටිනා තොරතුරු බෙදා ගත්තාට.........!

    ReplyDelete
  5. සිහින කුමාරි.......
    ස්තූතියි නංගි.
    මං ලංකාවේ ඉද්දි ආව ගිය තැන් තමයි ඉතිං. දැන් ලංකාවේ නැති නිසා මේ පින්තූර දකිද්දි දුකත් හිතෙනවා. මං ළඟ තියෙන පින්තූර එක්ක තව ලිපි කිහිපයක් දාන්නම් ඉදිරියේදී.

    ReplyDelete