Saturday, December 20, 2014

රාත්‍රිය හරි දිගුයි..........



උදා හිරු රැස් හෙමිං
කොහේ සැඟවුණිද දැං
රාත්‍රිය හරි දිගුයි
ගෙවෙන්නෙම නැති හැඩයි

මේ විසල් කතරබිම
හිඳිමි මං මග බලං
දින දසුනෙ පිටු අතර
නැවත එන දිනය තෙක්

නාස් පුඩු ඉව කරයි
ඔබෙ සුවඳ රැඳුණු තැන්
නිදන්නට බැරි හැඩයි
දෙනෙත් මගෙ හරි බරයි

                                                               රුක්ෂිලා වෙත්තමුණි

Monday, October 6, 2014

උරුමය........


.
.
.

  හිරු ගියත් අවරටම
  සඳ නැගෙයි එළිය දී
  නුඹ ගියත් දුර ඈත 
  ඔබේ සිහින මටම දී 


   - රුක්ෂිලා වෙත්තමුණි -   

Tuesday, August 19, 2014

ආවර්ජනය



එළිය ඇති
හැම මොහොතකම
අඳුරෙ
ගුලිවෙන්න
හීන දකින
අතීතය



                    රුක්ෂිලා වෙත්තමුණි


සිතුවම - මොටාගෙදර වනිගරත්න (අන්තර්ජාලයෙනි)

Thursday, August 14, 2014

රජීව් ගාන්ධි ගුවනින් පරිප්පු දමද්දි ජවිපෙ ගුවන් කඳවුරු ආක්‍රමණය කරයි ( ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා)

උතුරේ වඩමාරච්චි ප්‍රදේශය කොටින්ගෙන් මුදා ගැනීම සදහා විමුක්ති මෙහෙයුම 1987 මැද භාගයේදී ආරම්භ කොට සාර්ථක ලෙස ඉදිරියට යමින් පැවතිණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න සහ ජෙරී ද සිල්වා යන යුධ හමුදා අණ දෙන නිළධාරින්ගේ දායකත්වයෙන් ඇරඹුණ වඩමාරච්චි සටනට නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධ යුධ හමුදා සෙබළු 4,300ක් එක්ව සිටියහ.

මෙම හමුදා මෙහෙයුමට දේශපාලන නායකත්වය ලබාදුන්නේ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලිය. වඩමාරච්චි ප්‍රදේශය සම්පුර්ණයෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සමත්වූ මෙම විමුක්ති මෙහෙයුම නොහොත් ඔබරේෂන් ලිබරේෂන් 1987 ජූනි 03වැනිදා ජයග්‍රාහීව නිමාකිරීමට හමුදාවන්ට හැකිවිය.

වඩමාරචිචි මෙයෙයුම අතරතුරදී 1987 මැයි 28වැනිදා අගමැති රජීව් ගාන්ධි හමුවූ තමිල්නාඩු මහ ඇමති එම්.ජී. රාමචන්ද්‍රන් ශ්‍රී ලංකා රජයේ හමුදා මෙහෙයුම් නිසා උතුරේ ජනයා මියයන බවද ඉන්ධන සහ ඖෂධ නොමැතිව මහත් පීඩාවට පත්ව සිටින බවද කියා සිටියේය. එබැවින් ශ්‍රී ලංකා රජයට විරුද්ධව ඉන්දීය රජය වහ වහා පියවරක් ගත යුතු බවට එහිදී බලකර සිටියහ. තමිල්නාඩුවේ සහනාධාර රැගත් බෝට්ටු ශ්‍රී ලංකාවට යැවීමට ඉන්දීය අගමැතිවරයා ගෙන් අවසරද ලබාගත්තේය.

මේ අතර 1987 ජුනි 2වැනිදා රාත්‍රී සමස්ත ඉන්දීය ගුවන් විදුලිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමිල්නාඩු රජය ශී්‍ර ලංකාවේ උතුරේ දෙමල ජනයා සදහා සහල්, ධාන්‍ය, පිටිකිරි, ටින් කෑම සහ ඖෂධ රැගත් බෝට්ටු 25ක් එවීමට කටයුතු කරගෙන යන බවය. එම බෝට්ටුවල නිරීක්ෂකයින් ලෙස දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන්ද රතු කුරුස නියෝජිතයින් ඇතුළු 94 දෙනෙක්ද එවන බවද එහි වැඩිදුරටත් සදහන් විය.

මේ පිළිබදව ශ්‍රී ලංකා රජයේ, විපක්ෂයේ සහ ජනතාවගේ සියළු විරෝධයන් තොතකා රාමේෂ්වරම් තොටුපොලේ සිට පැමිණි ඉන්දීය බෝට්ටු 19ක් ජූනි මස 03වැනදා පස්වරු 6.00ට උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර උපදෙස් පරිදි එඩිතර නැවේ සිට නාවික භටයෝ මුහුදේ නැවක සිට එම බෝට්ටු ඉදිරියට ඒම නවතනු ලැබීය. එඩිතර නැවේ අණදෙන නිලධාරි වූයේ කපිතාන් සුරාජ් මුණසිංහය. ඇමති ලලිත් ඇතුළත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය ලබාදුණි.








උතුරට යැවීමට සූදානම් කළ බෝට්ටුවලට සහනාධාර පටවන තමිල්නාඩු ධීවරයින්







පැය තුන හමාරක් කාලයක් මුහුදේ නතර වී සිටි ඉන්දීය බෝට්ටු රාත්‍රී 9.30ට යළි ආපසු ගියහ. කොළඹ පදිංචි ඉන්දීය ජාතිකයින්ට නිවෙස්වලින් ඉවත්ව හෝටල්වල නතර වන ලෙසට ජුනි 03 සහ 04 දිනයන්හිදී ඉන්දිය තානාපති කාර්යාලය නිවේදනය කළේය. ඉන්දියාව අනතුරුව ජුනි 04වැනිදා පස්වරු 3.15ට ගුවනින් ශ්‍රී ලංකාවට ආධාර හෙළුවේ බෝට්ටුවලට පැමිණීමට නොදීමට එකට එක කිරීමක් වශයෙනි. මෙය ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නට පවා දැනුම් දුන්නේ පස්වරු 2.30ටය.



සහනාධාර මෙ‍හෙයුමට එක්වූ බෝට්ටු උතුරට පැමිණෙමින් තිබූ අයුරු

ජනාධිපති ජයවර්ධන යුද, නාවික සහ ගුවන් හමුදා ප්‍රධානීන් කැදවා කියා සිටියේ ඉන්දියාව ගුවනින් යාපනයට භාණ්ඩ හෙළා දැමීමට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු හමුදාමය කි්‍රයාමාර්ගයක් නොගන්නා ලෙසය. බැංගලෝරයේ පිහිටි යෙලන්කා හුමුදා ගුවන් තොටුපොළින් ඒ.එන් 32 වර්ගයේ් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පහක් ටොන් 25ක්ද රැගෙන ගුවනින් භාණ්ඩ හෙලීමට ඉන්දියාව කටයුතු කළේය. ඉන්දියාවේ මිග් ප්‍රහාරක යානා හතරක් මගින් එම සහනාධාර ඛෙදාදීමට ආරක්ෂාව ලබාදෙමින් ඉදිරියෙන් පියාසර කළේය. මෙම මෙහෙයුම හැදින්වූයේ ඔබරේෂන් පුමාලෙයි නමිනි.

යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට යානා මගින් පැරෂුට් වල සවිකල භාණ්ඩ පෙට්ටි ගුවනේ සිට මුදාහරින ලදී. පස්වරු 5.30ට භාණ්ඩ හෙලීමේ මෙහෙයුම නිමවිය. එක් භාණ්ඩ ප්‍රවාහනය කල යානාවක මෙය නිරීක්ෂණයට ඉන්දීය මාධ්‍යවේදීන් 17ක්ද රොයිටර්, බීබීසි, ඒ.එෆ්.පී ඇතුළු විදේශ මාධ්‍ය සේවාවන්හි වාර්තාකරුවන් 18ක්ද ගමන් ගත්හ. ශී්‍ර ලංකාවේ ෙසෙවරීභාවය උල්ලංඝනය කල මෙම මෙහෙයුමට එරෙහිව ශ්‍රී ලංකිකයින්ගේ දැඩි අප්‍රසාදයට මෙන්ම ප්‍රබල විරෝධයටද හේතු විය.







ගුවනින් සහනාධාර ගෙනා ගුවන් යානයක්







මෙම කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් මාලාව වාර්තා කිරීමට විදේශ මාධ්‍යයන් බොහෝ උත්සුක විය. රොයිටර් වාර්තාකරු ඩෝල්ටන් ද සිල්වාට අමතරව ඇන්ඩෘ ටානොවිස්කි ශී්‍ර ලංකාවේ සිට කියාසිටියේ ෙජ්. ආර්. මරමු යැයි රට පුරා සටන් පාඨ ලියා ඇති බවද ප්‍රසිද්ධ වේදිකාවලදී ජනතාව විසින් ලඟදිම ජනාධිපති ජයවර්ධනට ගල්ගසා පන්නා දැමීමට සූදානම්බව කියන බවය.

අනතුරුව ජුනි 17වැනිදා අගමැති රජිව් ගාන්ධි සහ ඉන්දීය විදේශ අමාත්‍ය නත්වාර් සිං නවදිල්ලියේදී හමුවූ විදේශ ඇමති ඒ.සී.එස් හමීඩ් යම් එකඟත්වයක් ඇතිකර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාව නොඉල්ලාම ඉන්දියාව ආහාර සහ ඖෂධ ටොන් 681ක තොගයක් ඉන්දියාවේ අයිලන්ඩ් ෆයිඩ් නෞකාවෙන් කන්කසස්තුරේ වරායට ජුනි 22වැනිදා එවන ලදී. මේවා උතුරේ සමූපකාර මගින් ඛෙදාදීමට රජය පියවර ගත්තේය.

යාපනය අල්ලා ගැනිමේ ආරක්ෂක හමුදා මෙහෙයුම ජුනි මස මැදදී ආරම්භ වීමට තිබූ අතර රජය මගින් එය නතර කිරීමට හේතු වූයේ මෙම ගුවනින් ආහාර හෙලීමේ සිද්ධියයි. එම තීරණය ජනාධිපති ජයවර්ධන ජාතික ආරක්ෂක ඇමති ඇතුළත්මුදලිට දැනුම් දුන්නේය. උතුරේ යුධ මෙහෙයුම් නතර විය. ඇමති ඇතුලත්මුදලි විසිවී ඇමති ගාමිණී දිසානායක කරලියට පැමිණියේය.

උතුරේ සන්නද්ධ කි්‍රයාකාරිත්වයේ වර්ධනය හමුවේ පමණක් නොව එයට පෙර 60 දශකයේ අවසාන භාගයේ සිට ඉන්දීයානු ආක්‍රමණයක් පිලිබදව නිශ්චිතව පෙර සිටම දැකිමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබිණි. එබැවින් ඉන්දියාව ගුවනින් ලංකාව ආක්‍රමණය කිරීම තුළින් ජනතාව ජවිපෙ දෙසට ආකර්ෂණය වෙමින් තිබිණි.
ඉන්දියානු ආක්‍රමණයක් පිළිබදව ජවිපෙ මගින් 1986 අග භාගයේ සිට ජාතික මට්ටමේ පුළුල් උද්ඝෝෂණයක්ද දියත්කර තිබිණි. ජවිපෙ සටන්පාඨ අතර එකල

 "ජේ. ආර් වියරුවෙන් - ජනතාව සීරුවෙන් "
"ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තයක් බවට පත්කිරීමට ඉඩ නොදෙමු"
"ජේ. ආර් මරමු" 
ඉන් කිහිපයකි. ජවිපෙ මගින් 1986දී පණගන්වන ලද දේශප්‍රේමි අරගලය මූලික වශයෙන්ම ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව ආණ්ඩු විරෝධී ස්වරූපයක් ගනු ලැබීය.
ගුවනින් බලහත්කාරයෙන් පරිප්පු දමන විට එයට එරෙහිව ති්‍රවිධ හමුදාවට ඒ සදහා බලය පාවිචිච් කිරීමට හෝ විකල්ප කි්‍රයාමාර්ගයක් ගැනීමට ජනාධිපති ජයවර්ධන ඉඩ නොදුන්නේය. සන්නද්ධව එයට ප්‍රතිචාර දැක්වීමට විෂය මූල අවශ්‍යතාවයක් වහා වහා අවශ්‍යව ඇතැයි ජවිපෙ රටටම කියා සිටියේය. එවැනි දේශප්‍රේමි අරගලයකට සහාය වන්නයැයි ඔවුහු ඉල්ලා සිටියේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපරයේ සන්නද්ධ කි්‍රයාමාර්ග උත්සන්නකර ගැනීමට එය කදිම අවස්ථාවක්ද විය.
නීති විරෝධී, දේශදෝහී එජාප ආණ්ඩුවටත්, සන්නද්ධ දෙමල ඛෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්‍රමණයටත් එරෙහිව සටන් කලහැකි එකම බලවේගය තමන් බව ජවිපෙ සන්නද්ධ හස්තය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කියා සිටියේය. ඒ අනුව ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින තුනකට පසු එනම් 1987 ජුනි 07 වැනිදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලානේ ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට කඩා පැන ප්‍රහාරයන් දෙකක් දියත් කරන ලදී. ආරක්ෂ හමුදාවන්ට එල්ල කරන ලද මෙම ප්‍රහාරයන් මුළු රටටම අදහා ගත නොහැකි විය.
කටුනායක ගුවන් හමුදා සහ රත්මලාන කොතලාවල පීඨයේ ප්‍රහාරයන් සැලසුම් කලේ මෙන්ඩිස් මහත්තයාය. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකි. ඔහු ගනේමුල්ලේ පදිංචි කරුවෙකි. නමින් සෙල්ලප්පෙරුම සමන් පි්‍රයසිරි ප්‍රනාන්දුය. නැතහොත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රධානියාවන කීර්ති විජයබාහුය. ජවිපෙ සන්නද්ධ අංශයේ වගකීම් දැරුවේ ඔහුය.

එම ප්‍රහාරයන් මෙහෙයවන ලද්දේ සිරිපාල සහ ෂෙල්ටන් රාජපක්ෂය. ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල කොටුගොඩවත්තේ පදිංචි කරුවෙකි. ෂෙල්ටන් රාජපක්ෂ යනු රාගම සෝමේය. ගම්පහ කොස්වාඩියේ පදිංචිකරුවෙකි. දෙදෙනාම සැකපිට ප්‍රශ්න කිරීමට කලින් අත්අඩංගුවට ගත්තද ඉන් මිදී පලාගොස් තිබිණි. සීදුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිස්ස කුඩාහෙට්ටිට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්ද මොවුන් අවශ්‍යව සිටියෝය.
කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට පහරදුන් කණ්ඩායම ප්‍රථමයෙන් 1987 ජුනි 04වැනිදා පස්වරු 5ට හමුවූයේ මීගමුවේ සිරගෙදර ලඟ තිඛෙන පිට්ටනියටය. කණ්ඩායම් හතරක් වශයෙන් ඔවුන් ගෙන්වා තිබිණි. සවස 7.30ට වෑන් රථයක නැඟ මීගමුවේ නිවසකට ඔවුන් කැදවා ගෙන එන ලදි. එහි වූයේ 31 දෙනෙකි. මෙන්ඩිස් මහත්තයා පැමිණ රටේ දේශපාලන තත්ත්වය සහ යෝජිත පළාත් සභා ගැනද විග්‍රහ කළේය. ඉන්දීයාව ඊයේ අහසින් පරිප්පු දැමූ බවද අද හෙටම රට ගොඩබිමින් ආක්‍රමණය කරන බවද එයට එරෙහිව නායකත්වය දීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තීරණය කර ඇතැයිද අවධාරණය කළේය.
පසුදින එනම් ජුනි 05වැනිදාද ඔවුන් එම නිවසේම රැදී සිටියේය. ජුනි 06 වැනිදා රාතී්‍ර 10ට ඔවුන්ට මෙන්ඩිස් මහත්තයා කියා සිටියේ කටුනායක ගුවන් හමුදා කඳවුරට පහරදී ආයුධ ලබාගත යුතු බවය. ඉන්දීය ආක්‍රමණයට එරෙහිව එම ආයුධ අවශ්‍ය බවය. අතින් අදින ලද කඳවුරේ සිතියමක් පෙන්වා කඳවුරට පහර දෙන ආකාරය විග්‍රහ කර සියළු අයට වගකීම් පවරන ලදී. සියළු දෙනාම ලොරියක නංවාගෙන කටුනායක කඳවුරේ පිටුපස අතුරු පාරක ලොරිය නවතා සියළු දෙනාම බස්සවන ලදී.
හමුදා කඳවුරේ වැටෙන් ඇතුළුවී වැඩ භාරගත් අයුරින් විවිධ කාර්යයන් ඔවුන් නිරත විය. නිළධාරින් යටත් කරගෙන බැඳ දමා පැහැරගත් ජීප් රථ වලින් ආයුධ පිටතට ගෙන එන ලදී. ඇතමෙකු මීගමු පාරට පැමිණ කොළඹ ආවේ පාන්දර 4.00 බස් රථයෙනි. කැරලි කරුවන් තිදෙනෙකු මියගොස් තිබිණි. පලායෑමට නොහැකිවූ තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. එක් ගුවන් සෙබලෙකු මිය ගොස් තිබිණි.
මියගිය කැරලිකරුවන් තිදෙනා අතර රාගම සුමිත්, දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සභාපති ජ~පුර සරසවියේ කාරියප්පෙරුම අතුකෝරලගේ රනිල් නොහොත් රනිල් රෝයල්ද විය. ප්‍රහාරයට පැමිණි කණ්ඩායමට ෂෙල්ටන් රාජපක්ෂ, නිමල් ජයරත්න, සුනිල් ප්‍රේමචන්ද්‍ර, අහම්පොඩි පියදාස, පුෂ්පමාලි රණසිංහ, උපාලි, කේ.ඒ.පී නිමලරත්න, මහින්ද, එන්.එම්. ශි්‍රයානන්ද, කේ විජිත කරුණාරත්න යන අයද එක්වී සිටියහ.





කටුනායක ප්‍රහාරයට සහභාගිවී මෝටර් රථයකින් පලායෑමට කළ උත්සාහයේදී වෙඩි වැදී මරණයට පත්වූ දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාචාරයේ ආරම්භක සභාපති රනිල් රෝයල්(ඉහළ ඡායාරූපයේ) සහ ප්‍රහාරය මෙහෙයවූ නායකයින් වමේ සිට( ප්‍රධාන සැලසුම්කරු වූ සමන් පියසිරි නොහොත් මෙන්ඩිස් මහත්තයා, ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් රාගම සෝමේ, ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල)


කටුනායක සහ කොතලාවල ආරක්ෂක පීඨයට පහරදී ආයුධ පැහැර ගැනීම සම්බන්ධයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ජුනි 07වැනිදා නිවේදනයක් නිකුත් කරමින් වගකීම භාර ගත්තේය. ආයුධ තිබිය යුත්තේ නියම දේශප්‍රේමින් අතේ බැවින් ඉන්දීය ආක්‍රමනිකයා හමුවේ මුළු ගැන්වූ මව්බිමේ ආරක්ෂාවට නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි ලබාගත් බවද එහි සදහන් විය. මෙහිදී ටී. 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලූ යාන්තී්‍රක තුවක්කු 02, පිස්තෝල 06ක් වෙඩි උණ්ඩ 3,300ක් පැහැරගත් බව කියති. ආණ්ඩු විරෝධී සහ ඉන්දීය විරෝධී බොහෝ කොටස් අතර ජවිපෙ ජනපී්‍රයතාවයට මෙය ඛෙහෙවින් ආකර්ෂණීය තත්ත්වයක් උදා කළේය.

මේ අතර තුළ රෝ සංවිධානයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජ්‍යෙතින්ද්‍රනාත් ඩික්සිට්, හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම් සහ ඇමති ගාමිණී දිසානායක අතර ඉන්දු ලංකා ගිවිසුමක් ඇතිකර ගැනීමට පිඹුරුපත් සැකසෙමින් පැවතිණි. එයට ජනාධිපති ජයවර්ධනගේද ආශිර්වාදය නොඅඩුව ලැබිණි


ධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ඉරිදා රිවිර පුවත්පතේ 2014 අගෝස්තු 10 ඉරිදා පලවූ ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කල 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා - 07 

Thursday, August 7, 2014

ආදරය.........

සඳට පෙම් බැන්දාට
හිරු තරහ වුණේ නෑ
තරු එළියට ලෝබ වී
අයිතිකර ගත්තෙ නෑ

රිදීවන් රේඛාව අහස් කුස සිඹිනවිට
මේඝ දූතයන්විත් ගෝරනාඩු කෙරුවාට
කළුවර දෙනෙත් හිමි නිශා කුමරී ළඟට
දිව ගිහින් හිමි සඳුනි ඔබේ රැස් දුන්නාට

සඳ එළිය රෑ පුරා විහිදුවා හතිලන්න
අඳුර ඇති හැම තැනම එළිය පතුරාලන්න
සොමි ගුණය උතුරුවා හදින් හද සනසන්න
ඔබ නොවෙද හිමි මගේ  සදා ළංවී සිටින

                                     රුක්ෂිලා වෙත්තමුණි



සිතුවම - ජයසිරි සේමගේ (අන්තර්ජාලයෙනි)

Monday, July 7, 2014

අවුකන පිළිමය හදලා තියෙන්නෙ මහා පුරුෂ ලක්ෂ ණ 32ම යොදලා............

ශ්‍රී  ලංකාවේ කලාකරුවාගේ අද්විතීය නිර්මාණ බොහොමයක් ලෝකප්‍රකට කලාකෘති ලෙස සම්භාවනාවට පත්වී ඇත. මහමෙව්නාවේ සමාධි පිළිමය, තොළුවිල පිළිමය, සීගිරි සිතුවම් මෙන්ම වෙහෙරගල රන් ආලේපිත අවලෝකිතේශ්වර පිළිමය හා අවුකන පිළිමය එසේ සම්භාවනාවට පාත්‍ර වූ කිහිපයක් පමණි. ලෝකය හමුවේ ප්‍රෞඪ ජාතියක් ලෙසින් නැඟී සිටින්න සමත් මෙම නිර්මාණ සැබැවින්ම ජාතියේ දායාදයන්ය.
මේ අතරින් අපගේ සාකච්ඡාවට බඳුන්වන අවුකන පිළිමය ශ්‍රේෂ්ඨ කලා පරපුරක අතීත සාඩම්බර දක්ෂතාව ලෝකය හමුවේ දිගහැරීමට සමත් කෘතියක් බවට අමුතුවෙන් කිවයුතු නොවේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ගමේ කලාවැව දෙසට මුහුණලා මහ කළු ගලක මුහුණතේ නෙළා ඇති මෙම පිළිමය අඩි 38ක් අඟල් 10ක් උසින් යුක්තය. ක්‍රි.ව. 5 වැනි සියවසේ ලංකා රාජ්‍ය පාලනය කළ ධාතුසේන නම් මහා නරපතියාගේ විශිෂ්ට කෘතියක් ලෙසට ඇතැම් විද්වතුන් සලකන කලා වැව දෙසට මුහුණලා වසර දහස් ගණනක් තිස්සේ මහා කරුණාවෙන් යුතුව වැඩ සිටින මෙම පිළිම වහන්සේ ලංකාවෙන් හමුවන හිටි ආබද්ධ පිළිම අතරින් විශිෂ්ටතම පිළිමය බවට අවිවාදයෙන් යුතුව පිළිගැනේ.

මෙම පිළිමයේ කාලනිර්ණය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් අතර එකඟතාවක් නැත. ඊට අනුව බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙය ධාතුසේන රජතුමා කරවූ කාලසේල සත්ථු පටිමාව ලෙසයි. ඊට අනුව මෙය ක්‍රි.ව. 05 වැනි සියවසට අයත් බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. එහෙත් මේ පිළිබඳ අදහස් දක්වන එස්.එම්. බරෝස් මහතා මෙය ක්‍රි.ව. 12 වැනි සියවසේදී මහාපරාක්‍රමබාහු රජු කරවූවක් යැයි කියයි. නමුත් මේ කාරණාව සනාථ කිරීමට එතුමා සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත. එසේම වින්සන්ට් ඒ. ස්මිත් මහතාද ඉහත මතය පිළිගනී. එසේම අනන්ද කුමාරස්වාමි මහතා පවසන්නේ අවුකන බුදු පිළිමය දොළොස්වැනි ශතවර්ෂයේ අග භාගයට හෝ දහතුන්වැනි ශතවර්ෂයේ මුල් භාගයට අයත් වන බවයි. 

තවද මහාචාර්ය ‍දොහානියන් මෙම පිළිමයේ ඉදිකිරීම් අවධිය පිළිබඳ සඳහන් කරමින් මෙය ක්‍රි.ව. 8 වැන සියවසට පමණ අයත් බව පවසයි. ඒ සඳහා මෙම පිළිමයේ දක්නට ලැබෙන අමරාවතී ශෛලියේ ලක්ෂණ   උපයෝගි කර ගනී.
මෙම සුවිශේෂී ප්‍රතිමාව කුමන කාලපරිච්ඡේදයක දී ඉදිවීද යන්න අනුමාන කළ හැකි ශිලා ලිපියක් 1952 අවුකන පිළිමයේ නැඟෙනහිර බිත්තියේ තිබී සොයාගෙන ඇත. මෙම ශිලා ලේඛනයේ සඳහන් කරුණු හා අක්ෂරවල ලක්ෂණවලට අනුව එම ලිපිය ක්‍රි.ව. 8 වැනි සියවසට අයත්ය. නමුත් ගැටලුව වන්නේ එම පිළිමයට අයත් පිළිමගේ ඉදිකළ වර්ෂය ලෙසට එය සැලකිය හැකි වීම නිසා පිළිමය ඉදිකිරීම සම්බන්ධයෙන් එයින් එතරම් ආලෝකයක් නොලැබීමයි. නමුත් පිළිමයේ ඉදිකිරීම් මෙම ශිලා ලිපියට අනුව ස්ථීර වශයෙන් ක්‍රි.ව. 8 වැනි සියවසට වඩා ඈතට ගමන් කරන බවට පැහැදිලි සාක්ෂි දැක්විය හැක්කේ පිළිමය ඉදිකළාට පසු එයට පිළිමගෙය ඉදිකරවන බැවිනි. මේ අනුව මෙම ශිලා ලේඛනය ලැබුණත් පිළිමය ඉදිවූ කාලසීමාව පිළිබඳ පරණවිතාන මහතා දෙන කාලය පිළිබඳ ඔහු දක්වන මතය අත්හැරීමට සූදානම් නොවේ.

ඒ අනුව එතුමා පවසන්නේ ධාතුසේන රජ සමයේ ඉදි වූ පිළිමයට ඊට වසර 300කට පසු පිළිම ගෙයක් ඉදිකළ බවයි. එසේම තවදුරටත් ඒ පිළිබඳ විග්‍රහයක යෙදෙන පරණවිතාන මහතා පවසන්නේ ක්‍රි.ව. 3, 4, 5 සියවස්වල ලංකාවේ කලාව ඉතා දියුණුව පැවැති බවයි. අනුරාධපුර යුගයේ අග භාගය අඳුරු යුගයක් බැවින් එකල මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහිවීමට තිබූ ඉඩකඩ ඉතා අඩු බවයි. නමුත් මේ මතය පිළිනොගන්නා මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේ මහතා පවසන්නේ අනුරාධපුර යුගයේ අගභාගයේදීද ලාංකික ශිල්පියා අතින් විශිෂ්ට නිර්මාණ බිහිවූ බවයි. ඊට නිදසුන් ලෙස එතුමා පන්කුලිය පිළිමය, අභයගිරියේ මහසෙන් මාලිගයේ විශිෂ්ට සඳකඩපහණ, බිසෝමාලිගයේ සඳකඩපහණ, රත්නප්‍රාසාදයේ මුරගල වැනි නිර්මාණ පෙන්වමින් ඒවා සියල්ල ක්‍රි.ව. 8 වැනි සියවසට අයත් කළ හැකි බව පවසමින් ඉහත පරණවිතාන මතය නිෂ්ප්‍රභ කරයි.
අවුකන ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ කුමන බුදුන් වහන්සේ කෙනෙකු ද යන්නටද විද්වතුන් අතර එතරම් පිළිගැනීමක් නැත. මෙම පිළිමයේ ප්‍රතිමා පාදයේ තිබී හමුවූ ලෝකඩ ප්‍රතිමා 5ක් කෙරේ සැලකිලිමත් වූ පරණවිතාන මහතා එම පිළිම පහෙන් ඉන්දු, බ්‍රහ්ම, යම, කුවේර, වරුණ යන දෙවිවරුන් නිරූපණය වන බව පවසයි. මෙයින් බුදුන්ගේ දේවාතිදේවභාවය හා බ්‍රහ්මාතිබ්‍රහ්මභාවය නිරූපණය වන්නේ යැයි එතුමා වැඩිදුරටත් කියයි. මෙම දේවරූප ප්‍රතිමා පාදයේ නිධන් කර තිබී ඇත. මෙම ප්‍රතිමාව ආරම්භයේදී එසේ ආසනයක් නොතිබූ බවත් පසුකලෙක ගල්පතුරුවලින් පද්මාසනයක් කරවා ඉහත කී දේවරූප නිධන් කරන්නට ඇතැයි පරණවිතාන මහතා කල්පනා කරයි.

ඉහත කී පිළිම 5 සැලකිල්ලට ගනිමින් මෙම පිළිමයෙන් නිරූපණය වන්නේ දීපංකර බුදුන් වහන්සේ යැයි කඹුරුපිටියේ වනරතන හිමියෝ ප්‍රකාශ කරති. ඊට අනුව එහි පාදයේ තිබී හමු වූ ඉන්ද්‍ර, බ්‍රහ්ම, යම පිළිම ඒ අයුරින් ම හඳුනා ගන්නා කඹුරුපිටියේ වනරතන හිමියෝ අනෙක් පිළිම දෙක සුයාම හා සන්තුසිත ලෙස හඳුනා ගනිති. මහාසාංඝික ලෝකෝත්තරවාදීන්ගේ විනය ග්‍රන්ථයක් වූ මහා වස්තුවෙහි දීපංකර බුදුරජාණන් වහන්සේගේ පරිවාර දේවතාවන් ලෙස ඉන්දු, බ්‍රහ්ම, යම, සුයාම හා සන්තුසිත දෙවිවරුන් සිටින බව කියා තිබේ. ඊට අනුව බුද්ධ ප්‍රතිමාවේ පාදයේ තිබී හමු වූ එම පිළිම පහට අනුව මෙම පිළිමය දීපංකර බුදුන්ගේ පිළිමයක්ය යන්න උන්වහන්සේ පවසති.
අනාගත බුදුවරයා වන මෛත්‍රිය බුදුන්, අප බුදුන්ට විවරණ දුන් දීපංකර බුදුන් යන දෙදෙනාම අසූරියන් උස යැයි කියා තිබේ. රැස්වෙහෙර පිළිමය මෛත්‍රිය බුදුන් ලෙස අර්ථ නිරූපණය කරන කඹුරුපිටියේ වනරතන හිමියන් මෙම පිළිමයෙන් දීපංකර බුදුන් නිරූපණය වන්නේ යැයි තවදුරටත් කියයි. දීපංකර බුදුන් නාවිකයන්ගේ ආරක්ෂකයෙක් ලෙසටද පිළිගැනීමක් ඇත. ධාතුසේන පුත්‍ර මුගලන් රජු සයුර අරක්බැඳ දීපය නිර්භය කෙළේය යයිචූලවංශ කතුවරයා දක්වා ඇත. ඔහු එසේ ලියන්නට ඇත්තේ මේ දීපය ආරක්ෂා කිරීම දීපංකර බුද්ධ පිළිබඳ විශ්වාසය තබා විය හැකිය. මෙකල දීපංකර ප්‍රතිමා ගෘහයක් ද තිබූ බව කියන උන්වහන්සේ මේ ප්‍රතිමාවේ දකුණත මුද්‍රාව වෙනස් වූයේද එය දීපංකර බුද්ධ වූ නිසා යැයි සිතයි.
 මහසයුරක් සමාන කලාවේ ආරක්ෂාව පේකඩ හා මේ ප්‍රතිමාව කරවන ලදැයි ජනප්‍රවාදය ඇති වූයේද මේ සංකල්පය නිසා බවට උන්වහන්සේගේ නිගමනයයි

මෙම ප්‍රතිමාවේ නිර්මාණ ලක්‍ෂණ දෙස බැලීමේදී මුහුණ ගැඹුරු හැඟීමෙන් බරව නිර්මාණය කර ඇත. එය බොහෝවිට එහි ඇති උදාරත්වය පිළිබිඹු කරන්නට ගත් උත්සාහයක් වැනිය. පිළිමයේ හිසකෙස් දක්‍ෂිණාවර්තව අක්බඹරු ආකාරයෙන් ක්‍රමානුකූලව පැහැදිලිව නෙළා ඇත. පිරිපුන් හිසක් දක්නට ලැබේ. සිහින් ඇහිබැම, දිගටි ඇස, ස්ථිර ගන දෙතොල්, පුළුල් නළලත මහත් වූ ගෙල යනාදී ලක්‍ෂණ ඉතා වැදගත්ය. දෑස ගැඹුරු හැඟීමක් නිරූපණය කරයි. එසේම මෙහි ආණ්ඩකාර මුහුණ ලම්බකර්ණ හා දිගටි ඇස් යන ලක්‍ෂණයන් ගුප්ත කලා සම්ප්‍රදායට සමාන වුවත් එම ශෛලිය අභිභවා යන ලෝකෝත්තර ගුණයක් මෙම පිළිමයේ මුහුණින් පිළිබිඹු වේ. 



මුහුණේ ගැඹුරු බව බුදුන්ගේ දසබලධාරීත්වය ඉස්මතු කරයි.

අවුකන පිළිමයේ හිසේ දක්නට ලැබෙන සුවිශේෂ නිර්මාණය සිරස්පත ලෙස හැඳින්වේ. මෙය පසුකාලයේදී ඇද වැටී තිබී නැවත ස්ථාපිත කර ඇත. මෙය ශාඛා 05 කින් යුක්තය. මෙහි මධ්‍ය ශිඛාව ක්‍රමයෙන් උසින් යුක්තව නිර්මාණය කර ඇත. උෂ්ණිෂයක් නැති නමුත් සිරස්පතත් හිසත් අතර කොටස උෂ්ණිෂයක් මෙන් උස්ව දක්වා ඇත.
මෙම සිරස්පත ගැලවී බිමවැටී තිබී 1870 දී සොයාගෙන ඇත.

අවුකන පිළිමයේ ප්‍රධාන වශයෙන්ම දැක්වෙන ලක්‍ෂණයක් වන්නේ ඒකාංශ පාරූපණයෙන් යුතු රැලි සහිත සිවුරයි. මෙහි රැලි එකිනෙකට සමාන්තරව ගලා වැටෙන සේ දක්වා තිබේ. සිවුරේ රැලි ඉතා තීව්‍ර ආකාරයට මතුකර තිබේ. මෙය අමරාවතී ශෛලියට බොහෝ සෙයින් සමාන බවට සමහර විද්වතුන් කරුණු දක්වයි. පිළිමයේ සිවුර දැක්වීමේදී අන්තරාවාසකයෙහි පහළ කොටස චීවරයට වැඩියෙන් පහළට දික්ව ඇත. දුහුල් චීවරය හා අඳනය නිසා දෙපා හා උදර බන්ධනය මතුවී පෙනේ. වම් උරහිසට යොදා ඇති සිවුරුපට පහළට වැටීම වැළැක්වීම සඳහා වම් අත වැළමිටෙන් නවා උරය දෙසට යොමු කර ගෙන සිටියි. එම වම් අතට සිරවූ සිවුරු පට වම් අත දිගේ පහළට කලාත්මකව වැටෙන ලෙස දක්වා ඇත.
මෙම සිවුරු පොට නිසා එය පිළිමයට ප්‍රතාපවත් බවක් එක් කරයි. සිවුර බෙහෙවින් දුහුල්ව දක්වා තිබීම නිසා ශරීරයේ හැඩය මනාව ඉස්මතුවී පෙනේ.

අවුකන පිළිමය මහාපුරුෂ ලක්‍ෂණවලින් සමන්විත වූ පිළිමයකි. ඊට අනුව කකුල්වල පිටි පතුල් දෙක, දෙඅත්වල පිටි අල්ල දෙක උරහිස් දෙක හා ශරීරය පිරී තිබෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත. පිළිමයේ දකුණතින් ආශිංශන මුද්‍රාව දරන අතර වම් අතින් කටකහස්ත මුද්‍රාව දරයි. දෙකකුල එකිනෙකට ආසන්නයෙන් දක්වා ඇත. ශරීරය ආරෝහපරිණාහ සම්පත්තියෙන් යුක්තය. ඒ තුළින් දසබලධාරීත්වය මැනවින් පෙන්නුම් කරයි.
මහාපුරුෂ ලක්‍ෂණ බෙහෙවින් නිරූපණය කර ඇති මෙම පිළිමය ශිල්ප ශාස්ත්‍ර න්‍යාය ග්‍රන්ථ හොඳින් අනුගමනය කරමින් නිර්මාණය කර ඇති බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා පවසයි.

අවුකන පිළිමය පිහිටුවා ඇත්තේ පද්මපීඨයක් මතය. සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ පිළිමයක් ස්ථාපිත කරනුයේ පද්මපීඨයක් මතය. ඉන් බුදුන්ගේ ලෝකෝත්තර බව සංකේතවත් කරන්නේ යැයි වික්‍රමගමගේ මහතා කියයි. මෙම පිළිමයේ පද්මාසනය තුළ තිබී යන්ත්‍ර ගලක් හෙවත් ගර්භපාත්‍රයක් හමුවිය. එය ගර්භ 25 කින් යුක්ත විය.

සාමාන්‍යයෙන් බුදුපිළිම යට මෙසේ යන්ත්‍රගල් පිහිටුවීම එකල සම්ප්‍රදාය විය.

අවුකන පිළිමය වටා පිළිම ගෙයක් ඉදිකළ බවට ඉහත විස්තර විය. සම්පූර්ණ පිළිමය වැසෙන සේ එකල එය ඉදිකරන්නට ඇත. මෙම පිළිම ගේ පහළ කොටස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම පිළිම ගෙයි භූමිය මීටර් 7×14 ප්‍රමාණයෙන් යුක්තය. ප්‍රදක්ෂිණාපථයක්ද සහිත මෙම පිළිම ගේ 8 වැනි සියවසේදී ඉදිකළ බවට ඉහත විස්තර විය.

කලාවැව අසබඩ ඉවුරේ සිහිල් මඳනල පහස විඳිමින්ද වරෙක දැඩි හිරුරැස්වල කටුක බව ලබමින්ද මහාකරුණා සමාපත්තියෙන් ඒවා සමසිතින් විඳදරා ගනිමින්ද අප වෙනුවෙන් යොමු වූ මහාකරුණාවෙන් යුක්තව වසර දහස් ගණනක් තිස්සේ අපගේ දුක සැප සම සිතින් දරමින් අවුකන බුදුන් නොසැලී හිඳී. මහකළුගලකින් මෙතරම් මානුෂීය ගුණාංග මතුකිරීමට සමත්වූ අතීත හෙළ කලාකරුවා සැබවින්ම නිවුණු හදවතක් ඇති තැනැත්තෙක් විය යුතුය. ඔහු තුළ තිබූ සංයමය ඔහු තුළ තිබූ තැන්පත් බව ඔහු තුළ තිබූ මානව දයාව මෙම රළු ගිරිකුලට ආරෝපණය කළේ ආශ්චර්යකින් නොවේ. මෙතරම් රළු කළුගලක් ඔහු ඉදිරියේ සුමට වූ හැටි විස්මයජනකය. මහා කලාකරුවාණනි ඔබ තැනූ මේ විශිෂ්ට උත්කෘෂ්ට නිර්මාණය තවත් වසර දහස් ගණනක් මෙලෙසම පවතිනු ඇත.
එසේම ඒ කාලය පුරාවටම අවුකන බුදුන්ගේ මහා කරුණාව අප හට ලැබෙනු නිසැකය.

සුන්දර කලා වැවේ දියරැලි අතරින් මතුවන සිසිලසත් අවුකන බුදුන්ගේ මහාකරුණාවත් එකට කැටි වූ මඳ සුළඟ මෙම ස්ථානයට සපැමිණෙන කවර නම් තරමේ කෙනකුගේ වුවද සිත සමාධිගත කරවන්නේ නිරායාසයෙනි.
 අවුකන සමිඳුනි ඔබගේ මෙත් දහරින් පුහුදුන් අපගේ සිත් සතන් තෙමාලමින් තවත් සහස්‍රකයක් අප වෙනුවෙන් හිඳිනු මැනවි.


බුද්ධි නාගොඩවිතාන -පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
උපුටා ගන්නා ලද්දේ - මව්බිම
ඡායාරූප - අන්තර්ජාලයෙනි.......